Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොල්කටා ක්‍රීඩකයෝ හයිද්‍රාබාද් පිල පරදවති

කොල්කටා ක්‍රීඩකයෝ හයිද්‍රාබාද් පිල පරදවති

editorial - 2021 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර චෙන්නායිහිදී අද (11 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 10 ක ජයක් අත්කර ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 177 ක් පමණි. හයිද්‍රාබාද් පිතිකරුවන්ට තරගය ජයගැනීම සඳහා අවසන් ඕවරයේදී ලකුණු 22 ක් රැස්කිරීමට සිදුවූ අතර දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඔන්ඩි්‍ර රසල් එම ඕවරය ලකුණු 11 කට සීමා කළේය.

ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි මනීෂ් පාණ්ඩේ පන්දු 44 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 61 ක් රැස්කළ නමුත් හයිද්‍රාබාද් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔහු අපොහොසත් විය. අබ්දුල් සමාඩ් පන්දු 8 කදී හයේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 19 ක් ලබා තරගය නිමාවන විට අනෙක් අන්තයේ රැදී සිටියේය.
 
ලකුණු 10 කට කඩුලු 2 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී හයිද්‍රාබාද් ක්‍රීඩා ලෝලීන්ට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආ පාණ්ඩේ, තෙවැනි කඩුල්ල වෙනුවෙන් ජොනී බෙයාස්ටෝ (55) සමග එක්ව පන්දු 65 කදී ලකුණු 92 ක වේගවත් සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. පන්දු 40 කදී වාර්තා වූ බෙයාස්ටෝගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 187 ක් ලබාගත්තේය. එහිදී ආරම්භක පිතිකරු නිතිෂ් රානා වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 56 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 80 ක් රැස්කළේය. කොල්කටා ඉනිම ශක්තිමත් කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් රාහුල් තේවතියා පන්දු 29 කදී ලකුණු 53 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි.

ශුබ්මන් ගිල් (15) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රානා, ඉන් නොනැවතී රාහුල් තේවතියා සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 93 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් කොල්කටා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

නායක ඔයින් මෝගන් (2), ඔන්ඩි්‍ර රසල් (5) සහ සකීබ් අල් හසන් (3) යන විදෙස් ක්‍රීඩකයන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යද්දී කොල්කටා ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි හිටපු නායක දිනේෂ් කාර්තික් පන්දු 9 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 22 ක් රැස්කළේය.

කාසියේ වාසිය දිනූ හයිද්‍රාබාද් කණ්ඩායම කණ්ඩායමේ නායක ඩේවිඩ් වෝනර් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර එහිදී රෂීඩ් ඛාන් ලකුණු 24 කට කඩුලු 2 ක්ද, මොහොමඩ් නබී ලකුණු 32 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. ඉන් නබී දවාගත් කඩුලු 2 පිට පිටම යවන ලද පන්දු 2 කදී දවාගත් කඩුලු විය.

කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 187
(නිතිෂ් රානා 80, ශුබ්මන් ගිල් 15, රාහුල් ත්‍රිපාති 53, දිනේෂ් කාර්තික් නොදැවී 22, රෂීඩ් ඛාන් 24/2, මොහොමඩ් නබී 32/2)

සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 177
(මනීෂ් පාණ්ඩේ නොදැවී 61, ජොනී බෙයාස්ටෝ 55, මොහොමඩ් නබී 14, අබ්දුල් සමාඩ් නොදැවී 19, ප්‍රසිද් ක්‍රිෂ්ණා 35/2)

-036


අදහස් (0)

කොල්කටා ක්‍රීඩකයෝ හයිද්‍රාබාද් පිල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.