Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෙළ ගෑමෙන් පන්දුව ඔපදැමීම තහනම්

කෙළ ගෑමෙන් පන්දුව ඔපදැමීම තහනම්

දමින්ද විජේසූරිය - 2020 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ක්‍රිකට් කමිටුව විසින් නිර්දේශ කරන ලද පරිදි ක්‍රිකට් තරගයකදී පන්දුව ඔප දැමීම සඳහා ඛේඨය යොදා ගැනීම අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තහනම් කරනු ලැබ තිබේ. මෙම තහනම තාවකාලිකව ක්‍රියාත්මක වන්නක් වන අතර එය නීතියකට වඩා රෙගුලාසියක් බවද අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි.

තරගයක් පැවැත්වෙමින් තිබියදී කොරෝනා රෝගී ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් එම ක්‍රීඩකයා කණ්ඩායමෙන් ඉවත් කිරීමටත්, ඔහු වෙනුවට ආදේශ ක්‍රීඩකයකු යෙදවීමටත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අනුමැතිය හිමිවී තිබේ. එම අවස්ථාවේදී රෝගී ලක්ෂණ පෙන්නුම් කරන ක්‍රීඩකයා වෙනුවට ආදේශ කරනු ලබන ක්‍රීඩකයා සම්බන්ධයෙන් තරග තීරකවරයාට මැදිහත් විය හැකිය. එසේ වුවත් එක්දින හෝ විස්සයි-20 තරග වලදී කොරෝනා රෝගී ලක්ෂණ පෙන්නුම් කරන ක්‍රීඩකයන් ආදේශ කිරීමට අවසර නොලැබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරීන් අතර පෙරේදා (9 වැනිදා) පැවැති සාකච්ඡාවේදී ක්‍රිකට් කමිටුවේ නිර්දේශ නිල වශයෙන් අනුමත කරන ලදි. ඉන්දීය පිලේ හිටපු නායක අනිල් කුම්බල් ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා වෙයි.

පන්දුව ඔප දැමීම සඳහා ඛේඨය යොදාගැනීම තහනම් වුවත්, ක්‍රීඩකයන්ගේ දහදිය ඒ සඳහා යොදාගැනීමට පන්දු යවන්නන්ට අවසර ලැබෙනු ඇත. මේ අතර පන්දුව ඔප දැමීම සඳහා ඉටි වර්ගයක් හඳුන්වාදීමට ඕස්ටේ්‍රලියානු සමාගමක් උත්සාහ කරමින් සිටී. එහෙත් ඒ සම්බන්ධයන් නිල පිළිගැනීමක් තවමත් හිමිවී නැත.

පන්දුව ඔප දැමීම සඳහා ඛේඨය තැවරීම තහනම් කෙරෙන අතර යම් හෙයකින් ක්‍රීඩකයකු පුරුද්දට මෙන් පන්දුවේ ඛේඨය තැවරුවහොත් විනිසුරුවරයාට ඒ තත්ත්වය සඳහා මැදිහත් විය හැකිය. ක්‍රීඩකයන් නව රෙගුලාසිවලට හුරුවන තෙක්, ඉතා අවම මට්ටමේ අවවාද කිරීම් ඒ සඳහා යොදාගත හැකිය. නමුත් දිගින් දිගටම ඛේඨය තැවරීම සිදුවන්නේ නම් කණ්ඩායමට අවවාද කිරීම දක්වා එය දුරදිග යා හැකිය.
 
එක ඉනිමක් සඳහා කණ්ඩායමකට දෙවරක් අවවාද කෙරෙන අතර නැවත වරක් ඛේඨය තවරනු ලැබුවහොත් පන්දුවට පහර දෙන කණ්ඩායමට දඬුවම් ලකුණු 5 ක් පිරිනැමෙන අතර පන්දුවේ ඛේඨය තැවරෙන සෑම අවස්ථාවකටම පසුව, නැවත තරගය ආරම්භ කිරීමට පෙර පන්දුව පිරිසිදු කළ යුතුව තිබේ.

ටෙස්ට් තරග සඳහා දේශීය විනිසුරුවරුන් යොදාගැනීමටත්, විනිසුරු තීරණ විමසීමේදී දෙපිලටම ලැබෙන අවස්ථා දෙක වෙනුවට අවස්ථා තුනක් දීමටත් ක්‍රිකට් කමිටුව විසින් නිර්දේශ කර තිබිණ.

වසර 2000 සිටම ටෙස්ට් තරග සඳහා මධ්‍යස්ථ විනිසුරුවරුන් යෙදවූ නමුත් නව රෙගුලාසි අනුව දේශීය විනිසුරුවරුන් යෙදවීමට තීරණය කර ඇතිතේ සංචරණය හේතුවෙන් කොවිඞ් - 19 වයිරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණ ඇතිවය. කෙසේ වෙතත් මෙම සියලු නිර්දේශ තාවකාලික රෙගුලාසි වන අතර තත්ත්වය සාමාන්‍ය අතට හැරුණු වහාම කලින් පැවැති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ බලාපොරොත්තුව බව එහි මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

අන්තර්ජාතික වශයෙන් දැනට පවතින සංචරණ නීති රීති අනුව යමින් සියලුම අන්තර්ජාතික තරග සඳහා මධ්‍යස්ථ විනිසුරුවරුන් පත්කිරීම අත්හිටුවනු ලැබේ. තරග සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම ශ්‍රේණියේ සහ අන්තර්ජාතික ශ්‍රේණියේ විනිසුරුවරුන් පත්කරගත හැකිය. විනිසුරු තීරණ විමසීමේදී ටෙස්ට් තරග සඳහා කණ්ඩායමකට වැරදී යන අවස්ථා 3 ක්ද, සීමිත ඕවර තරග සඳහා අවස්ථා දෙකක්ද බැගින් පිරිනැමේ.

 


අදහස් (0)

කෙළ ගෑමෙන් පන්දුව ඔපදැමීම තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.