Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තයට ලකුණු 150 ක ජයක්

එංගලන්තයට ලකුණු 150 ක ජයක්

editorial - 2019 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : ශානුක අරවින්ද)

-------------------------------------------------------------------------------------------

මෙම තරගයේ ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු 8 ක් ලබා සිටින එංගලන්ත කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වූ අතර සහභාගි වූ තරග 5 ම පරාජයට පත්ව සිටින ඇෆ්ගනිස්තාන කණ්ඩායම තවදුරටත් ලකුණු සටහනේ 10 වැනි ස්ථානයේ රැදී සිටියි.

-------------------------------------------------------------------------------------------

පිතිරුවන්ගේ විශිෂ්ඨ පිතිහරඹයන් හමුවේ ඇෆ්ගනිස්තානය පරදවා ලකුණු 150 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. තරගයේ වීරයා එංගලන්ත කණ්ඩායමේ නායක ඔයින් මෝගන්.

-------------------------------------------------------------------------------------------

හෂ්මතුල්ලා - නජිබුල්ලා - රෂීඞ් දැවී යති

ඕවර 50 කදී - ඇෆ්ඝනිස්තානය 247/8

ජොෆ්රා ආචර් යැවූ 46 වැනි ඕවරයේ පස්වැනි පන්දුව කඩුල්ලේ දැවටීමෙන් හෂ්මතුල්ලා ශහිදි ලකුණු 76 කට දැවී ගියේය. පිටියෙන් ඉවත්ව යෑමට පෙර පන්දු 100 කට මුහුණ දුන් ශහිදි සිය අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් අලංකාර කළේය.  

මාක් වුඞ් යැවූ 47 වැනි ඕවරයේ දෙවැනි පන්දුව කඩුල්ලේ වැදීමෙන් නජිබුල්ලා සද්රාන් ලකුණු 15 කට දැවී යයි. පන්දු 13 කදී වාර්තා වූ නජිබුල්ලාගේ ඉනිමට ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවක් හමුවේ මිඞ් විකට් කළාපයට ඉහළින් එල්ල කළ හයේ පහරක්ද ඇතුළත් විය.

ජොෆ්රා ආචර් යැවූ 50 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී කවර් කළාපයේ පන්දු රකිමින් සිටි ජොනී බෙයාස්ට්‍රෝ අතට උඩ පන්දුවක් දෙමින් හතරේ පහරක් සමග ලකුණු 8 ක් ලබා සිටි රෂීඞ් ඛාන්ද පිටියෙන් ඉවත්ව යයි.

-------------------------------------------------------------------------------------------

අස්ගර් - නබී දැවී යති 

ඕවර 45 කදී - ඇෆ්ඝනිස්තානය 227/5

ආදිල් රෂීඞ් යැවූ 41 වැනි ඕවරයේ පස්වැනි පන්දුවෙය්දී ස්ලිප්හි පන්දු රකිමින් සිටි ජෝ රූට් අතට උඩ පන්දුවක් දෙමින් අස්ගර් ඇෆ්ගන් ලකුණු 44 කට දැවී ගියේය. අර්ධ ශතකය පෙනි පෙනී දැවීයන විට පන්දු 48 කදී වාර්තා වී තිබූ ඇෆ්ගන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වී තිබිණ.

ඇෆ්ගන්ගේ දැවීයෑමත් සමග ඔහු සහ හෂ්මතුල්ලා ශහිදි (නොදැවී 71) එක්ව ඇෆ්ඝනිස්තාන ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 96 කදී ගොඩනගා තිබූ ලකුණු 94 ක සම්බන්ධතාවද නිමාවට පත් විය.

ඇෆ්ගන්ගේ නික්ම යෑමෙන් අනතුරුව පිටියට පිවිසි මොහොමඞ් නබී, තමා මුහුණදුන් පළමු පන්දුවම ලෝන්ග් ඔන් කළාපයට ඉහළින් හතරේ සීමාව පසුකර යැවීමට සමත් විය. කෙසේ වුවත් රෂීඞ් යැවූ 43 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවෙය්දී ලෝන්ග් ඔන් කළාපයේ පන්දු රකිමින් සිටි බෙන් ස්ටෝක්ස් අතට උඩ පන්දුවක් දෙමින් මොහොමඞ් නබී ලකුණු 9 කට දැවී ගියේය.

සිය ඉනිමමේ 35 වැනි ඕවරයේ සිට 40 වැනි ඕවරය දක්වා ක්‍රියාත්මක වූ ඕවර 5 තුළදී ලබාගත හැකි වූයේ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 24 ක් පමණක් වුවද, 40 වැනි ඕවරයේ සිට 45 වැනි ඕවරය දක්වා ක්‍රියාත්මක වූ ඕවර 5 තුළදී හයේ පහර 2 ක් සමගින් ලකුණු 31 ක් රැස්කිරීමට ඇෆ්ඝනිස්තාන පිතිකරුවෝ සමත් වූහ.

-------------------------------------------------------------------------------------------

 

හෂ්මතුල්ලාගෙන් අර්ධ ශතකයක්

ඕවර 35 කදී - ඇෆ්ඝනිස්තානය 172/3

පන්දු 68 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් හෂ්මතුල්ලා ශහිදි සිය 9 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත්තේය. ආදිල් රෂීඞ් යැවූ 35 වැනි ඕවරයේ අවසන් පන්දුවට ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක් එල්ල කරමින් හෂ්මතුල්ලා සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය.

ඇෆ්ඝනිස්තාන ඉනිමේ 35 වැනි ඕවරය නිමාවන විට අස්ගර් ඇෆ්ගන් (නොදැවී 31) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද හෂ්මතුල්ලා සමත් විය.

මාක් වුඞ් යැවූ 32 වැනි ඕවරයේදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 14 ක් රැස්කළ හෂ්මතුල්ලා සහ අස්ගර්, ඉන් නොනැවතී ආදිල් රෂීඞ් යැවූ 33 වැනි ඕවරයේදී හයේ පහර 2 ක් සමග ලකුණු 13 ක්ද, 35 වැනි ඕවරයේදී හතර් පහරක් සමග ලකුණු 12 ක්ද රැස්කිරීමට සමත් වූහ.

-------------------------------------------------------------------------------------------

ඇෆ්ඝනිස්තාන පිල අසීරු තත්වයක 

ඕවර 30 කදී - ඇෆ්ඝනිස්තානය 125/3

ආදිල් රෂීඞ් යැවූ 25 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී ඩීප් මිඞ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි ජොනී බෙයාස්ට්‍රෝ අතට උඩ පන්දුවක් දෙමින් රාමට් ෂා ලකුණු 48 කට දැවී ගියේය. අර්ධ ශතකය පෙනි පෙනී දැවී යන විට පන්දු 74 කට මුහුණදී සිටි ෂාගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත වී තිබිණ.

රාමට් ෂාගේ දැවීයෑමත් සමග ඔහු සහ හෂ්මතුල්ලා ශහිදි (නොදැවී 25) එක්ව ඇෆ්ඝනිස්තාන ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 78 කදී ගොඩනගා තිබූ ලකුණු 52 ක සම්බන්ධතාවද නිමාවට පත් විය.

ආදිල් රෂීඞ් යැවූ 29 වැනි ඕවරයේ තෙවැනි පන්දුව තර්ඞ් මෑක් කළාපයට ඉහළින් හතරේ සීමාව පසුකර යැවූ අස්ගර් ඇෆ්ගන්, එම ඕවරයේ අවසන් පන්දුව ෆියින් ලෙග් කළාපය හරහා හතරේ සීමාව වෙත යවයි.

එංගලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඇෆ්ඝනිස්තාන පිතිකරුවන්ට 20 වැනි ඕවරයේ සිට 30 වැනි ඕවරය දක්වා ක්‍රියාත්මක වූ ඕවර 10 තුළදී ලබාගත හැකි වූයේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 36 ක් පමණි.

-------------------------------------------------------------------------------------------

ගුලාබ්දීන් නයිබ් දැවී යයි 

ඕවර 20 කදී - ඇෆ්ඝනිස්තානය 86/2

මාක් වුඞ් යැවූ 12 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී කඩුලු රකින් ක්‍රීඩක ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමින් ගුලාබ්දීන් නයිබ් ලකුණු 37 කට දැවී ගියේය. පන්දු 28 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

මුයින් අලී යැවූ 17 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ලෝන්ග් ඕෆ් කළාපයට ඉහළින් හතරේ සීමාව පසුකර යැවූ රාමට් ෂා, අලී යැවූ 19 වැනි ඕවරයේ දෙවැනි පන්දුව ෂෝට් තර්ඞ් මෑන් කළාපය හරහා හතරේ සීමාව වෙත යවයි.

එංගලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඇෆ්ඝනිස්තාන පිතිකරුවන්ට 10 වැනි ඕවරයේ සිට 20 වැනි ඕවරය දක්වා ක්‍රියාත්මක වූ ඕවර 10 තුළදී ලබාගත හැකි වූයේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 38 ක් පමණි.

-------------------------------------------------------------------------------------------

ගුලාබ්දීන් නායකත්වයේ බර කරට ගනී

ඕවර 10 කදී - ඇෆ්ඝනිස්තානය 48/1

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ නායකත්වයේ බර කරට ගෙන සිටින ගුලාබ්දී නයිබ්, මෙම තරගයේදී ආරම්භක පිතිකරුවාගේ භූමිකාවටද පණ පොවන අතර මුල් ඕවර 10 තුළ පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 36 ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියි.

ජොෆ්රා ආචර් යැවූ 6 වැනි ඕවරයේදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 15 ක් රැස්කිරීමට පුරෝගාමී වූ නයිබ්, ක්‍රිස් වෝක්ස් යැවූ 9 වැනි ඕවරයේදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 9 ක් රැස්කළේය.

මුල් ඕවර 10 නිමාවට පත්වන විට රාමට් ෂා (10) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 44 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද නයිබ් සමත්ව සිටියි.

-------------------------------------------------------------------------------------------

නූර් අලී ලකුණු නොළබා දැවී යයි

ඕවර 5 කදී - ඇෆ්ඝනිස්තානය 13/1

ඇෆ්ඝනිස්තාන ඉනිමේ දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් කැඳවූ අතර ඔහු යැවූ පළමු පන්දුවම කඩුල්ලේ දැවටීම හේතුවෙන් ආරම්භක පිතිකරු නූර් අලී ලකුණු නොලබා දැවී ගියේය.

මුල් ඕවර 5 තුළදී ඇෆ්ඝනිස්තාන ඉනිම ලකුණු 13 කට සීමා කිරීමට ක්‍රිස් වෝක්ස් සහ ජොෆ්රා ආචර් සමත් වෙති. කෙසේ වුවත් වෝක්ස්ගේ පන්දුවක් හමුවේ ලකුණු 6 ක් ලබා සිටියදී රාමට් ෂා ලබාදුන් උඩ පන්දුවක් ස්ලිප්හි පන්දු රකිමින් සිටි ජෝ රූට් අතින් ගිළිහී යෑම නිසා එංගලන්තයට තවත් කඩුල්ලක් දවාගැනීමට තිබූ අවස්ථාව අහිමි විය.

-------------------------------------------------------------------------------------------

ඇෆ්ඝනිස්තානයට ලකුණු 398 ක ඉලක්කයක්

ඕවර 50 කදී - එංගලන්තය 397/6

එංගලන්ත ඉනිමේ 48 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී මොහොමඞ් නබී සමග එක්ව ජොස් බට්ලර් ලකුණු 2 කට දවාගත් දවුලත් සද්රාන්, ඉන් නොනැවතී 50 වැනි ඕවරයේ පළමු පන්දුවේදී බෙන් ස්ටෝක්ස් ලකුණු 2 කට දවාගැනීමට සමත් විය.

කෙසේ වුවත් 7 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මුයින් අලී පන්දු 9 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 31 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 400 සීමාව ආසන්නයටම ගෙන ආවේය.

මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායම ලබාගත් ලකුණු 397, ලෝක කුසලාන තරගාවලියකදී එංගලන්ත කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක් විය. මින් පෙරට ඔවුන් ලෝක කුසලාන තරගාවලියකදී ලබා සිටි ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ මෙම තරගාවලියේදීම බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී ලබාගත් ලකුණු 386 යි.

එම වාර්තාවට අමතරව එක්දින තරගයකදී කණ්ඩායමක පිතිකරුවන් එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව (25) අලුත් කිරීමට එංගලන්ත කණ්ඩායම මෙම තරගයේදී සමත් විය. එහි පැරණි වාර්තාවද එංගලන්තය සතුවූ අතර මෙම වසර (2019) මුලදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී හයේ පහර 24 ක් එල්ල කරමින් ඔවුන් එම වාර්තාව පිහිටුවා තිබිණ.

-------------------------------------------------------------------------------------------

මෝගන්ගේ වාර්තාගත ඉනිම එංගලන්ත ඔසවයි

ඕවර 47 කදී - එංගලන්තය 359/4  

ගුලාබ්දීන් නබී යැවූ 46 වැනි ඕවරයේදී සිවුවැනි පන්දුවේදී ලෝන්ග් ඔන් කළාපයේ පන්දු රකිමින් සිටි රාමට් ෂා අතට උඩ පන්දුවක් දෙමින් ජෝ රූට් ලකුණු 88 කට දැවී ගියේය. දැවීයන විට පන්දු 82 කට මුහුණදී සිටි රූට්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත වී තිබිණ.

රූට්ගේ දැවීයෑමත් සමග ඔහු සහ මෝගන් එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 101 කදී ගොඩනැගූ ලකුණු 189 ක වේගවත් සම්බන්ධතාවද නිමාවට පත් විය.

එම ඕවරයේම අවසන් පන්දුවේද ලෝන්ග් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි රාමට් ෂා අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 148 ක් ලබා සිටි ඔයින් මෝගන්ද දැවී ගියේය. ඇෆ්ඝනිස්තාන පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ලෙස පහර පිට පහර එල්ල කළ මෝගන් පන්දු 71 කදී හයේ පහර 17 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු රැස්කළේය.

මෙම තරගයේදී මෝගන් එල්ල කළ හයේ පහර 17, එදා මෙදා තුර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී පිතිකරුවකු එල්ල කළ වැඩිම හයේ පහර ලෙස වාර්තා අතරට එක් විය. මින් පෙර එහි සම වාර්තාවට හිමිකම් කීවේ තරගයකදී හයේ පහර 16 බැගින් එල්ල කර සිටි රෝහිත් ශර්මා, ක්‍රිස් ගේල් සහ ඒ.බී. ඩිවිලියස්ය.

 

-------------------------------------------------------------------------------------------

මෝගන්ගෙන් ප්‍රහාරාත්මක ශතකයක්

ඕවර 45 කදී - එංගලන්තය 323/2

පන්දු 57 කදී හයේ පහර 11 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ඔයින් මෝගන් සිය 13 වැනි එක්දින ශතකය ලබාගනී. රෂීඞ් ඛාන් යැවූ 43 වැනි ඕවරයේ අවසන් පන්දුව ලෝන්ග් ඔන් කළාපයට ඉහළින් හතරේ සීමාව පසුකර යවමින් මෝගන් සිය ශතකය සම්පූර්ණ කළේය.

ලෝක කුසලාන තරගාවලියකදී පිතිකරුවෙක් ලබාගත් සිවුවැනි වේගවත්ම ශතකය ලෙස මෝගන්ගේ එම ශතකය වාර්තා අතරට එක් විය. මින් පෙර අයර්ලන්තයේ කෙවින් ඕ’බ්‍රයන් (2011) පන්දු 50 කින්ද, ඕස්ටේ්‍රලියාවේ ග්ලේන් මැක්ස්වෙල් (2015) පන්දු 51 කින්ද, දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියස් (2015) පන්දු 52 කින්ද ලෝක කුසලාන තරගවලදී ශතක ලබා තිබේ.

මොහොමඞ් නබී යැවූ 14 වැනි ඕවරයේදී හයේ පහර 2 ක් සමගින් ලකුණු 14 ක්ද, රෂීඞ් ඛාන් යැවූ 43 වැනි ඕවරයේදී හයේ පහර 3 ක් සමගින් ලකුණු 21 ක්ද, රෂීඞ් ඛාන් යැවූ 45 වැනි ඕවරයේදී හයේ පහර 3 ක් සමගින් ලකුණු 21 ක්ද රැස් කිරීමට මෝගන් පුරෝගාමී විය.

-------------------------------------------------------------------------------------------

මෝගන් ප්‍රහාරය ආරම්භ කරයි

ඕවර 40 කදී - එංගලන්තය 255/2

පන්දු 36 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ඔයින් මෝගන් (නොදැවී 67) සිය 47 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී. මොහොමඞ් නබී යැවූ 39 වැනි ඕවරයේ පළමු පන්දුව මිඞ් විකට් කළාපයට ඉහළින් හතරේ සීමාව පසුකර යවමින් ඔහු සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය.  

රෂීඞ් ඛාන් යැවූ 36 වැනි ඕවරයේදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 18 ක් රැස්කළ රූට්, මුජිබුර් රහමන් යැවූ 39 වැනි ඕවරයේදී හතරේ පහරක් සමග ලකුණු 14 ක් රැස්කිරීමටද පුරෝගාමී විය.

ඉනිමේ 40 වැනි ඕවරය අවසන් වන විට ජෝ රූට් (නොදැවී 66) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 91 ක වේගවත් නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද මෝගන් සමත්ව සිටියි.

-------------------------------------------------------------------------------------------

රූට් අර්ධ ශතකයක් ලබාගනී

ඕවර 35 කදී - එංගලන්තය 199/2

පන්දු 54 කදී හතරේ පහර 2 ක් සමගින් ජෝ රූට් (නොදැවී 53) සිය 32 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත්තේය. බෙයාස්ට්‍රෝ (90) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 122 කදී ලකුණු 120 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රූට්, මේ වන විට ඔයින් මෝගන් (26) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කදී ලකුණු 35 ක සම්බන්ධතාවක්ද ගොඩනගා සිටියි.

ඇෆ්ඝනිස්තාන නායක ගුලාබ්දීන් නයිබ් යැවූ 32 වැනි ඕවරයේ දෙවැනි පන්දුව පන්දු යවන්නාගේ හිසට ඉහළින්ද, තෙවැනි පන්දුව ඩීප් මිඞ්විකට් කළාපයට ඉහළින්ද හතරේ සීමාව පසුකර යැවීමට එංගලන්ත නායක ඔයින් මෝගන් සමත් වෙයි. එය ඕවරයේදී එංගලන්ත කණ්ඩායමට හිමි වූ ලකුණු සංඛ්‍යාව 15 කි.

-------------------------------------------------------------------------------------------

බෙයාස්ට්‍රෝ ශතකය පෙනි පෙනී දැවී යයි

ඕවර 30 කදී - එංගලන්තය 164/2 

නායක ගුලාබ්දීන් නයිබ් යැවූ 30 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් ජොනී බෙයාස්ට්‍රෝ ශතකය පෙනි පෙනී ලකුණු 90 කට දැවී ගියේය. පන්දු 99 කට මුහුණදුන් බෙයාස්ට්‍රෝ හයේ පහර 3 කින් සහ හතරේ පහර 8 කින් සිය අර්ධ ශතකය අලංකාර කළේය. 

බෙයාස්ට්‍රෝගේ දැවීයෑමත් සමග ඔහු සහ ජෝ රූට් (නොදැවී 45) අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 122 කදී පැවැති සම්බන්ධතාවද ලකුණු 120 කට සීමා විය. එය මෙවර ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත පිතිකරුවන් දෙදෙනකු ගොඩනැගූ 6 වැනි ශතක සම්බන්ධතාව ලෙසද සටහන් විය. 

රෂීඞ් ඛාන් යැවූ 26 වැනි ඕවරයේ සිවුවැනි පන්දුව කවර් කළාපය හරහා හතරේ සීමාව වෙත යැවූ බෙයාස්ට්‍රෝ, මොහොමඞ් නබී යැවූ 27 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී පන්දු යවන්නාගේ හිසට ඉහළින් හයේ පහරක් එල්ල කළේය. 

-----------------------------------------------------------------------------

බෙයාස්ට්‍රෝ - රූට් සාර්ථක සම්බන්ධතාවක

ඕවර 25 කදී - එංගලන්තය 139/1 

දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 93 කදී ලකුණු 95 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ ජොනී බෙයාස්ට්‍රෝ (නොදැවී 74) සහ ජෝ රූට් (නොදැවී 37) කෙමෙන් කෙමෙන් එංගලන්ත ඉනිම ගොඩනගති. ඉනිමේ 25 වැනි ඕවරය නිමාවන විට බෙයාස්ට්‍රෝ සිය 8 එක්දින ශතකය අබියසද, රූට් සිට 32 වැනි එක්දින අර්ධ ශතකය අබියසද රැදී සිටිති. 

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ප්‍රධානතම පන්දු යවන්නා ලෙස සැලකෙන රෂීඞ් ඛාන් යැවූ 24 වැනි ඕයරයේදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 14 ක් රැස්කිරීමට බෙයාස්ට්‍රෝ සහ රූට් සමත් වෙති. 

-----------------------------------------------------------------------------

බෙයාස්ට්‍රෝ අර්ධ ශතකයක් ලබාගනී

ඕවර 20 කදී - එංගලන්තය 106/1 

පන්දු 61 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ජොනී බෙයාස්ට්‍රෝ (නොදැවී 52) සිය 10 වැනි එක්දින ශතකය ලබාගනී. ගුලාබ්දීන් නයිබ් යැවූ 20 වැනි ඕවරයේ අවසන් පන්දුව මිඞ් ඕෆ් කළාපය හරහා හතරේ සීමාව වෙත යවමින් බෙයාස්ට්‍රෝ සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. 

රාමට් ෂා යැවූ 17 වැනි ඕවරයේදී හතරේ පහරක් සමගින් ලකුණු 11 ක් රැස්කිරීමට බෙයාස්ට්‍රෝ සහ ජෝ රූට් (නොදැවී 26) සමත් වූහ.

ඉනිමේ 19 වැනි ඕවරයේදී පන්දු යැවීම සඳහා සිය කණ්ඩයමේ ප්‍රබලම තුරුම්පුව වන පා දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඞ් ඛාන් කැඳවීමට ඇෆ්ඝනිස්තාන නායක ගුලාබ්දීන් නයිබ් පියවර ගනී. 

---------------------------------------------------------------------------------------

බෙයාස්ට්‍රෝ ලකුණු ලබාගැනීම වේගවත් කරයි 

ඕවර 15 කදී - එංගලන්තය 72/1 

එංගලන්ත ඉනිමේ 10 වැනි ඕවරයේ සිට 15 වැනි ඕවර දක්වා ඕවර 5 තුළ තමාද සමගින් පන්දු යවන්නන් සිවුදෙනකුගේ සේවය ලබාගැනීමට ඇෆ්ඝනිස්තාන නායක ගුලාබ්දීන් නයිබ් පියවර ගත්තද, ඔවුන් කිසිවකුට කඩුල්ලක් දවාගැනීමට නොහැකි වූහ. 

මොහොමඞ් නබී යැවූ 12 වැනි ඕවරයේදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 11 ක් රැස්කිරීමට ජොනී බෙයාස්ට්‍රෝ (නොදැවී 34) සහ ජෝ රූට් (නොදැවී 10) සමත් වූ අතර රාමට් ෂා යැවූ 13 වැනි ඕවරයේ පස්වැනි පන්දුව පන්දු යවන්නාගේ හිසට ඉහළින් හතරේ සීමාව වෙත යැවීමටද බෙයාස්ට්‍රෝ සමත් විය. 

සිය පළමු ඕවරයේදී ලකුණු 11 ක් රැස්කිරීමට එංගලන්ත පිතිකරුවන් සමත් වුවද, දෙවැනි ඕවරය ලකුණු 4 කට සීමා කිරීමට පිට දඟ පන්දු යවන ක්‍රීඩක මොහොමඞ් නබීට හැකි විය. 

--------------------------------------------------------------------------------------------

ජේම්ස් වින්ස් දැවී යයි 

ඕවර 10 කදී - එංගලන්තය 46/1 

පාදයේ කලව පිටුපස මස්පිඩුවේ ආබාධයක් හේතුවෙන් එංගලන්ත කණ්ඩාමේ නිත්‍ය ආරම්භක පිතිකරු ජේසන් රෝයිට මෙම තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ අතර ඔහු වෙනුවට කණ්ඩායමට එක්වූ ජෙම්ස් වින්ස්, ලද අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගැනීමට අපොහොසත් විය. 

මුජිබුර් රහමන් යැවූ 10 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී ෂෝට් ෆයින් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි දවුලත් සද්රාන් අතට උඩ පන්දුවක් දෙමින් වින්ස් ලකුණු 26 කට දැවී ගියේය. දැවීයන විට පන්දු 31 කට මුහුණදී සිටි වින්ස්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත්ව තිබිණ. 

දවුලත් සද්රාන් යැවූ 6 වැනි ඕවරයේදී හතරේ පහර 2 ක් සමගින් වින්ස් සහ බෙයාස්ට්‍රෝ රැස්කළ ලකුණු 10, තරගයේ දෙවැනි ඕවර 5 තුළ ක්‍රියාත්මක වූ ඕවරයකදී එංගලන්ත කණ්ඩායම ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව විය. 

-------------------------------------------------------------------------------------------

එංගලන්තයෙන් ප්‍රවේශම් සහගත ආරම්භයක් 

 ඕවර 5 කදී - එංගලන්තය 20/0

මුල් ඕවර 5 තුළදී එංගලන්ත ආරම්භක පිතිකරුවෝ ප්‍රවේසම් සහගත පිතිහරඹයක නිරත වෙති. ජේම්ස් වින්ස් පන්දු 16 කදී ලකුණු 9 ක්ද, ජොනී බෙයාස්ට්‍රෝ පන්දු 14 කදී ලකුණු 11 ක්ද ලබා 5 වැනි ඕවරය නිමාවන විට නොදැවී කඩුල්ලේ රැදී සිටිති. 

මුල් ඕවර 5 තුළදී වාර්තා වූයේ දවුලත් සද්රාන් යැවූ දෙවැනි ඕවරයේදී වින්ස් එල්ල කළ හතරේ පහර සහ මුජිබුර් රහමන් යැවූ පස්වැනි ඕවරයේදී බෙයාස්ට්‍රෝ එල්ල කළ හතරේ පහර පමණි. 

මුජිබුර්ගේ ඕවර 3 කදී ලකුණු 12 ක්ද, සද්රාන්ගේ ඕවර 2 කදී ලකුණු 8 ක්ද රැස්කිරීමට වින්ස් සහ බෙයාස්ට්‍රෝ සමත් වෙති.

-------------------------------------------------------------------------------------------------------

එංගලන්තය පන්දුවට පහරදීම තෝරාගනී 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 24 වැනි තරගය ලෙස එංගලන්තය සහ ඇෆ්ඝනිස්තානය අතර මැන්චෙස්ටර්හිදී අද (18 වැනිදා) පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායක ඔයින් මෝගන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

එංගලන්ත කණ්ඩායම
ඔයින් මෝගන් (නායක), ජොනී බෙයාස්ට්‍රෝ, ජේම්ස් වින්ස්, ජෝ රූට්, බෙන් ස්ටෝක්ස්, ජොස් බට්ලර්, මුයින් අලී, ක්‍රිස් වොක්ස්, ආදිල් රෂීඞ්, ජොෆ්රා ආචර් සහ මාක් වුඞ්

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම
ගුලාබ්දීන් නයිබ් (නායක), රාමට් ෂා, නූර් අලී සද්රාන්, නජිබුල්ලා සද්රාන්, හෂ්මතුල්ලා ශහිදි, අස්ගර් ඇෆ්ගන්, මොහොමෙඞ් නබී, ඉක්‍රාම් අලී ඛිල්, රෂීඞ් ඛාන්, මුජිබුර් රහමන්, දවුලත් සද්රාන්


අදහස් (0)

එංගලන්තයට ලකුණු 150 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.