Last Update  :  2024-05-10 23:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවිෂ්ක යාපනයට ජය ගෙනෙයි

අවිෂ්ක යාපනයට ජය ගෙනෙයි

editorial - 2020 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවිෂ්ක ප්‍රනාන්දු (නොදැවී 92) ගොඩනැගූ අනගි ඉනිම නිසා ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (27) රාත්‍රී පැවැති තරගාවලියේ දෙවැනි තරගයේදී යාපනය ස්ටැලියන්ස් පිල කඩුලු අටකින් ගාල්ල ග්ලැඩියේටර්ස් පිල පරාජය කිරීමට සමත් විය.

යාපනය පිල ලකුණු 176 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 19.3 කදී කඩුලු දෙකක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.

යොවුන් ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්වෙමින් පන්දු 63 කදී නොදැවී ලකුණු 92 ක් රැස්කළේය. අවිෂ්කගේ ඉනිම හතරේ පහර පහකින් සහ හයේ පහර හතකින් වර්ණවත් විය.

මෙහිදී අවිෂ්ක කලබලයකින් තොරව ආරම්භයේදී පහර දුන් පන්දු සංඛ්‍යාවට සමාන්තරව ලකුණු රැස්කරමින් ඉනිම ගොඩනැගීම කැපී පෙනුණි. අවිෂ්ක හයේ පහරකින් අර්ධ ශතකය සම්පූර්ණ කරන විට පන්දු 40 කට පහරදී තිබුණි.

අවිෂ්ක සහ ෂොයිබ් මලික් (නොදැවී 27) තෙවැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 110 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.     

ෂොයිබ් මලික් ලකුණු තුනක් පමණක් ලබාසිටියදී පන්දු යැවූ අෆ්රිඩි වෙත ලබාදුන් පහසු උඩ පන්දුව ගිලිහී යෑම තීරණාත්මක විය.

මිනෝද් භානුක පන්දු 10 කින් හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 18 ක් රැස්කර සිටියදී පළමු කඩුලු ලෙස දැවී ගියේය.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී සිටින 40 හැවිරිදි සහිඩ් අෆ්රිඩි පන්දු 23 කින් හතරේ පහර තුනක් සහ හයේ පහර හයක් සමගින් ලකුණු 58 ක් රැස්කරමින් පළමුව පන්දුවට පහර දුන් ගාල්ල ඉනිමට නව ජීවයක් ගෙන දුන්නේය. අෆ්රිඩි පහර දුන් 20 වැනි පන්දුවේදී අර්ධ ශතකය සම්පූර්ණ කළේය.

අෆ්රිඩි පන්දු 11 කින් ලකුණු 17 ක් පමණක් ලබා සිටියදී ඩීප් මිඩ්විකට් වෙත ලබාදුන් උඩපන්දුව වනිඳු හසරංග රැකගත්තේ නම් ගාල්ල පිලේ මුළු ලකුණු සංඛ්‍යාව මීට වඩා අඩු වීමට ඉඩ තිබුණි.

ෂෙහාන් ජයසූරිය (17) ලකුණක් පමණක් ලබාසිටියදී විනිඳු හසරංගගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වදරට හසුව දැවී ගිය බවට විනිසුරු ලින්ඩන් හැනිබල් තීරණය කළ ද එය දැවී යෑමක් නොවන බවට විනිසුරු තීරණ නැවත විමසීමෙන් තහවුරු වීම කැපී පෙනුණි.   

ඩුඈන් ඔලිවර් (44/4) ක්‍රියාත්මක කළ ඉනිමේ 14 වැනි ඕවරයේදී භානුක රාජපක්‍ෂ (21) සහ මිලින්ද සිරිවර්ධන දවාගැනීමෙන් ලකුණු 93 කට කඩුලු පහක් බවට පත්ව ගාල්ල පිල අසීරු තත්ත්වයකට පත්ව සිටියේය.

තිසර පෙරේරා ක්‍රියාත්මක කළ ඉනිමේ 11 වැනි ඕවරයේ පළමු සහ දෙවැනි පන්දුවට අසාම් ඛාන් පිට පිටම ලබාදුන් උඩ පන්දු බිනුර ප්‍රනාන්දු සහ චතුරංග ද සිල්වා වෙතින් ගිලිහී යෑම ද යාපනය පිලට පාඩුවක් බවට පත්විය.

ධනුෂ්ක ගුණතිලක පන්දු 30 කදී හතරේ පහර හතක් සමගින් ලකුණු 38 ක් රැස්කර සිටියදී වනිඳු හසරංගගේ පන්දුවකට රිවර් ස්විප් පහර ගැසීමට ගොස් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.

වනිඳු හසරංග පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකා පිලේ කඩුලු දවාගන්නා බවට පත්ව සිටි අතර මෙහිදී ද වනිඳු පස්වැනි පන්දුවේදී ප්‍රතිඵල ගෙන දුන්නේය. වනිඳු ඕවර හතරේදී ලකුණු 12 කට කඩුලු දෙකක් දවාගනිමින් සාර්ථක පන්දු යවන්නා බවට පත්විය.  

ගාල්ල පිලේ ආරම්භක පිතිකරු චැඩ්වික් වෝල්ටන් ලකුණු 4 ක් ලබා සිටියදී ඩුඈන් ඔලිවර්ගේ පන්දුවකට හරහට පහර ගැසීමට ගොස් පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ උසම වේග පන්දු යවන්නා වන බිනුර ප්‍රනාන්දු ආරම්භක පන්දු යවන්නා ලෙස පළමු ඕවර දෙක ලකුණු 13 කට අවසන් කිරීමෙන් ගාල්ල පිලට වේගවත් ආරම්භයකට යෑම මඟ හැරුණි.    

ගාල්ල පිලේ නායක ශහිඩ් අෆ්රිඩි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රමාද වීම නිසා අෆ්රිඩි පළමු තරග දෙකට ක්‍රීඩා නොකරන බව ප්‍රකාශ කර තිබුණ ඔහු කණ්ඩායමට එක්ව සිටියේය.  

ගාල්ල පිලට විදේශ ක්‍රීඩකයන් ලෙස නායක සහිඩ් අෆ්රිඩි, චැඞ්වික් වෝල්ටන්, අසාම් ඛාන් සහ මොහොමඞ් අමීර් ඇතුළත්ව සිටියහ. යාපනය පිලට ෂොයිබ් මලික්, ටොම් මුවර්ස්, කයිල් ඇබට් සහ ඩුඈන් ඔලිවර් ක්‍රීඩා කළහ.

තරගාවලියේ තෙවැනි දිනය වන හෙට (28) මහනුවර සහ දඹුල්ල අතර දිනයේ පළමු තරගය පස්වරු 3.30 ට ද, ගාල්ල සහ කොළඹ අතර දෙවැනි තරගය රාත්‍රී 8.00 ට ද, ආරම්භ වීමට නියමිතය.


ගාල්ල ග්ලැඩියේටර්ස් පිල ඕවර 20 කදී කඩුලු 8 ට 175
(ධනුෂ්ක ගුණතිලක 38, අසාම් ඛාන් 20, භානුක රාජපක්‍ෂ 21, සහිඩ් අෆ්රිඩි 58, ෂෙහාන් ජයසූරිය 17, වනිඳු හසරංග 12/2, ඩුඈන් ඔලිවර් 44/4, තිසර පෙරේරා 30/1)

යාපනය ස්ටැලියන්ස් පිල ඕවර 19.3 කදී කඩුලු 2 ට 176
(අවිෂ්ක ප්‍රනාන්දු නොදැවී 92, මිනෝද් භානුක 18, ටොම් මුවර්ස් 18, ෂොයිබ් මලික් නොදැවී 27, මොහොමඩ් අමීර් 29/1, මොහොමඞ් ශරාෂ් 38/1)

- 048


අදහස් (0)

අවිෂ්ක යාපනයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.