Last Update  :  2024-04-26 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවිශ්ක නිදොස් කොට නිදහස් කරයි

අවිශ්ක නිදොස් කොට නිදහස් කරයි

editorial - 2021 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු අවිෂ්ක ගුණවර්ධන මහතාට එල්ලවූ දූෂණ චෝදනාවලින් නිදහස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාව අද (10 වැනිදා) තීරණය කළේය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් සම්බන්ධ ක්‍රියාකාරකම්වලට නැවත සහභාගී වීමට අවිශ්ක ගුණවර්ධනට අවස්ථාව හිමිවනු ඇත.

2018 දෙසැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති දහයයි10 ලීග් තරගාවලියට සහභාගීවූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන නුවන් සොයිසා සහ අවිෂ්ක ගුණවර්ධනට එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් චෝදනා ගොනු කරන ලදි.

නුවන් සොයිසාට එරෙහිව චෝදනා 4 ක් එල්ලවූ අතර අවිෂ්ක ගුණවර්ධනට චෝදනා දෙකක් එල්ල විය. මෙම තරගාවලියේ දූෂණ විරෝධී කටයුතු සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ නිලධාරීන් පත්කරන ලදි. පසුව ඔවුන් විසින් අදාළ චෝදනා එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය වෙත බාරදෙනු ලැබ තිබිණ.

එහිදී අවිශ්කට එරෙහිව පැවැති චෝදනා දෙකකින්ම ඔහුව නිදහස් කිරීමට එම විනිශ්චය සභාව කටයුතු කර ඇත. ඒ අතර නුවන් සොයිසාට එල්ල කරතිබූ චෝදනා 4 න් එක් චෝදනාවක් (2.4.6) තහවුරු කර ඇති අතර, සෙසු චෝදනා 3 නිශ්ප්‍රභා කිරීමටද ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාව කටයුතු කර තිබේ.

“සවිස්තරාත්මක තීන්දුව නියමිත වේලාවට අදාල පාර්ශවයන්ට දන්වනු ඇති අතර ඊට එරෙහිව  අභියාචනා කළ හැකිවනු ඇත”

එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය වෙනුවෙන් මෙහිදී කටයුතු කරන ජාත්‍යන්තර ක්‍රිකට් සභාව (අයි.සී.සී) මේ සම්බන්ධයෙන් වෙනත් ප්‍රකාශයක් සිදු කිරීමට පෙර එම තීරණය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් සළකා බලනු ඇත.

කෙසේ වෙතත්, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන පනතෙහි වගන්ති 3 ක් උල්ලංඝනය කිරීමට අදාළව ඔහු වරදකරු වීම හේතුවෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසාට වසර 6ක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් සභාව පසුගිය මාසයේ දී පියවර ගත්තේය.


අවිශ්ක ගුණවර්ධනට එල්ලවූ චෝදනා

2.1.4 වගන්තිය - දූෂණ මර්දන පනතේ 2.1 වන වගන්තිය උල්ලංඝනය කිරීම සඳහා ඕනෑම සහභාගිවන්නෙකුට සෘජුව හෝ වක්‍රව ඉල්ලීම, පෙළඹවීම, පොළඹවා ගැනීම, උපදෙස් දීම, ඒත්තු ගැන්වීම, දිරිගැන්වීම හෝ හිතාමතාම පහසුකම් සැපයීම.

2.4.5 වන වගන්තිය - වෙනත් අයකුගේ දූෂිත හැසිරීම හෝ උත්සාහයන් නැතහොත් අවධානයට ලක්වන ඕනෑම සිදුවීමක්, සත්‍යයක් හෝ කාරණයක් පිළිබඳ සම්පූර්ණ තොරතුරු (අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව) දූෂණ විරෝධී ඒකකය වෙත අනාවරණය කිරීමට අපොහොසත් වීම,


නුවන් සොයිසාට එල්ලවූ චෝදනා
2.1.1 වන වගන්තිය - තරඟයක ප්‍රතිඵලය, ප්‍රගතිය, හැසිරීම හෝ වෙනත් අංශ වලට අනිසි ලෙස බලපෑම් කිරීමට ගිවිසුමකට පක්ෂ වීම.

2.1.4 වගන්තිය - 2.1 වන වගන්තිය උල්ලංඝනය කිරීම සඳහා ඕනෑම සහභාගිවන්නෙකුට සෘජුව හෝ වක්‍රව ඉල්ලීම, පෙළඹවීම, පොළඹවා ගැනීම, උපදෙස් දීම, ඒත්තු ගැන්වීම, දිරිගැන්වීම හෝ හිතාමතාම පහසුකම් සැපයීම.

2.4.4 වන වගන්තිය - නීති සංග්‍රහය යටතේ දූෂිත හැසිරීම් වල යෙදීමට ලැබුණු ඕනෑම ප්‍රවේශයක් හෝ ආරාධනාවක් පිළිබඳ සම්පූර්ණ තොරතුරු දූෂණ විරෝධී ඒකකය වෙත හෙළි කිරීමට අපොහොසත් වීම.

2.4.6 වන වගන්තිය - නීති සංග්‍රහය යටතේ සිදුවිය හැකි දූෂිත හැසිරීම් සම්බන්ධයෙන් දූෂණ විරෝධී ඒකකය විසින් කරනු ලබන පරීක්ෂණයකට සහයෝගය දැක්වීමට බල කිරීමකින් තොරව අසමත් වීම හෝ ප්‍රතික්ෂේප කිරීම.

- 2079

 


අදහස් (0)

අවිශ්ක නිදොස් කොට නිදහස් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.