Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අපට විශේෂ දෙයක් කළ හැකියි

අපට විශේෂ දෙයක් කළ හැකියි

යොහාන් භාසුර - 2020 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඕස්ට්‍රේලියාවේදී මේ මස 21 වැනිදා ආරම්භ වන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂ දෙයක් කළ හැකි බවට විශ්වාසයක් ඇති බව ශ්‍රී ලංකා පිලේ නායිකා චමරි අතපත්තු ඊයේ (06) පැවසුවාය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද (6 වැනිදා) පස්වරුවේ ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය අතර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද පැවැති මාධ්‍ය හමුවේදී චමරි වැඩි දුරටත් මෙසේ ද පැවසුවාය.

“අපි සහභාගි වූ ලෝක කුසලාන තරගාවලිවලින් 2016 දී පමණයි අපිට අර්ධ අවසන් පූර්ව තරගය දක්වා එන්න හැකි වුණේ. ඒ නිසා අනිවාර්යෙන්ම පළමු කණ්ඩායම් හතරට එන එක අභියෝගයක්. අපේ කාණ්ඩයේ ඕස්ටේ්‍රලියාව සහ නවසීලන්තය මෙන්ම ඉන්දියාවත් ඉන්නවා. බංග්ලාදේශයත්, විස්සයි20 ක්‍රිකට් ඕනෑම කණ්ඩායමකට විවෘතයි”

“ක්‍රීඩිකාවකට දෙන්නෙක්ට විස්සයි20 තරගයක් වෙනස් කරන්න පුළුවන්. ඒ දවසේ දස්කම් මත ප්‍රතිඵලය වෙනස් වෙනවා. ඒ නිසා මේ තරගාවලියේ ශ්‍රේණිගත කිරීම කියන්නේ මට නම් අංකයක් විතරයි’

නවක ක්‍රීඩිකාවන් පිළිබඳව නායිකාව මෙසේ අදහස් දැක්වූවාය.

“ඕනෑම ක්‍රීඩිකාවක් ජාතික කණ්ඩායමට ආවම ඇයගේ වයස අදාල නෑ. ඇයගේ දක්‍ෂතාව මතයි ඇය එතැනට එන්නෙ. මම බලාපොරොත්තු වෙනවා තරුණ ක්‍රීඩිකාවොත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවො වගේම දස්කම් දක්වයි කියලා”

ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ මෙම කණ්ඩායමෙන් විශාල දෙයක් බලාපොරොත්තු වන බවයි.

“අපි ඉදිරිය ගැන හිතලයි මේ කණ්ඩායම තෝරගෙන තියෙන්නේ. ඒ තරුණ ක්‍රීඩිකාවන් පසුගිය මාස හයක පමණ කාලයේ දස්කම් දැක්වූ ක්‍රීඩිකාවන්. මේ කණ්ඩායමේ ගොඩක් අත්දැකීම් තියෙන ක්‍රීඩිකාවන් ඉන්නවා. ශෂිකලා සිරිවර්ධන විශ්‍රාම ගැනීමට තීරණය කරලා. සෙසු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගේත් මෙය අවසන් සංචාරය වෙන්නත් පුළුවන්”

“ඒ නිසා තරුණ ක්‍රීඩිකාවන්ට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් සමඟ තරග කරන්න අවස්ථාව ලබාදීම ගොඩක් වැඳගත්. ඊළඟ ලෝක කුසලානයට මෙතැන් සිටම කණ්ඩායම සූදානම් කරනවා නම් ඒකත් හොඳ දෙයක්”

“කණ්ඩායමේ පුහුණුකරු හැටියට මට ඕන ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න. කණ්ඩායම් අටයි ඉන්නේ. විස්සයි20 කියන්නේ කොයි මොහොතේ හෝ වෙනස් වෙන්න පුළුවන් ක්‍රීඩාවක්. අපි පසුගිය මාස 18 තුළ ගොඩක් ඉදිරියට ආපු කණ්ඩායමක්. මම ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා” යැයි හර්ෂ මහතා වැඩි දුරටත් පැවසීය.  

ශ්‍රී ලංකා පිලේ නිල ඇඳුම් අනුග්‍රහකයා ලෙස ‘මාස්’ හෝල්ඩින් ආයතනය කටයුතු කරයි. එම ආයතනය ‘දිරිය දෙන්න’ යන තේමාව යටතේ මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැවීමේ වැඩසටහන් කීපයක් පවත්වා තිබේ.  

ශ්‍රී ලංකා පිල පර්ත්හිදී මේ මස 10 සහ 12 දෙදින ප්‍රාන්ත කණ්ඩායම් දෙකකට එරෙහිව පුහුණු තරග දෙකකට සහභාගි වීමට නියමිතය. අනතුරුව ඇඩිලේඩ්හිදී 14 සහ 16 දෙදින දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහිව නිල පුහුණු තරගය දෙකකට සහභාගි වේ.

ශ්‍රී ලංකා පිල පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ ක්‍රීඩා කරමින් නවසීලන්තයට එරෙහිව ලබන 22 වැනිදා ද, එංගලන්තයට එරෙහිව ලබන 24 වැනිදා ද, පර්ත්හිදී තරග කිරීමට සූදානමින් සිටියි.

මෙල්බන්හිදී ඉන්දියාවට එරෙහිව මේ මස 29 වැනිදා ද, බංග්ලාදේශයට එරෙහිව මාර්තු මස 2 වැනිදා ද, ශ්‍රී ලංකා පිල තෙවැනි සහ සිවුවැනි තරගවලට සහභාගි වීමට නියමිතය.     

ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 සංචිතය :
චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී (උප නායිකා), අනුෂ්කා සංජීවනී, හංසිමා කරුණාරත්න, ශෂිකලා සිරිවර්ධන, නිලක්‍ෂි ද සිල්වා, අමා කාංචනා, කවීෂා දිල්හාරි, උදේෂිකා ප්‍රබෝදනී, අචිනි කුලසූරිය, හසිනි පෙරේරා, සත්‍යා සංදීපනී, උමේෂා තිමේෂනී, සුරංගිකා කුමාරි සහ ඩිලානි මනෝදර


අදහස් (1)

අපට විශේෂ දෙයක් කළ හැකියි
  • sam Friday, 07 February 2020 08:09 AM

    අනේ බොරු බයිලා කියන්න එපා. ඔයගොල්ලෝ අන්තිමයෝ තමයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.