Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වෝනර් - ෆින්ච් - මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාව දිනවති

වෝනර් - ෆින්ච් - මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාව දිනවති

editorial - 2019 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඇඩිලේඞ්හිදි අද (27 වැනිදා) පැවැති පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 134 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. එම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 234 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 99 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිතර වූ මිචෙල් ස්ටාක් සහ පැට් කමින්ස් කඩුලු 2 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළ සුනුවිසුණු කර දැමූ අතර ඇඩම් සම්පා ලකුණු 14 කට කඩුලු 3 ක් දවාගනිමින් මැද පෙළ අඩපණ කළේය.

පළමු ඕවරයේදීම ලකුණු ලබාගැනීමටත් මත්තෙන් කුසල් මෙන්ඩිස් ආපසු ක්‍රීඩාගරයට හරවා යැවූ මිචෙල් ස්ටාක්, 10 වැනි ඕවරයේදී ලකුණු 16 ක් ලබා සිටි කුසල් පෙරේරාගේ කඩුල්ලද බිඳ දැමුවේය. ඉනිමේ සිවුවැනි ඕවරය යැවූ පැට් කමින්ස් එහි පිට පිට පන්දු දෙකකදී ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ පිටියෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්වයකට ඇද දැමුවේය.

ඇස්ටන් ආගර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඕෂධ ප්‍රනාන්දුගේ ඉනිම ලකුණු 13 කට සීමා වූ අතර ග්ලේන් මැක්ස්වෙල්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ වනිඳු හසරංග ලකුණු 5 ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට හසුවිය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ඇඩම් සම්පා දසුන් ශානක (17), ලක්ෂාන් සඳකැන් (6) සහ කසුන් රාජිත (0) අඩු ලකුණු වලට දවාගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය තවත් පහසු කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 233 ක් ලබාගතතේය. එහිදී ඕස්ට්‍රේලියානු ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ ඩේවිඩ් වෝනර් (නොදැවී 100), වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 56 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 10 ක් සමග සිය මංගල විස්සයි20 ශතකය ලබාගත්තේය.

පළමු කඩුල්ල සඳහා ඒරන් ෆින්ච් (64) සමග එක්ව පන්දු 65 කදී ලකුණු 122 ක සම්බන්ධතාවක් ගොඩනැගූ වෝනර්, ඉන් නොනැවතී ග්ලේන් මැක්ස්වෙල් (62) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 107 ක සමබන්ධතාවක්ද ගොඩනගමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව වේගයෙන් ඉහළ නැංවීය.

පන්දු 36 කදී වාර්තා වූ ෆින්ච්ගේ 10 වැනි විස්සයි20 අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 8 කින් සමන්විත වූ අතර පන්දු 28 කදී වාර්තා වූ මැක්ස්වෙල්ගේ 7 වැනි විස්සයි20 අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් අන්තර්ගත විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ නුවන් ප්‍රදීප් සිය ඕවර 4 ලකුණු 28 කට සීමා කළ අතර කසුන් රාජිතගේ ඕවර 4 තුළ ලකුණු 75 ක් රැස්කිරීමට ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ සමත් වූහ. අවසන් ඕවරය යැවීම සඳහා කැඳවූ දසුන් ශානක, එය ලකුණු 10 කට සීමා කරමින් කඩුල්ලක්ද දවාගත්තේය.

- 036


අදහස් (0)

වෝනර් - ෆින්ච් - මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.