Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පළමු ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරව නිමයි

පළමු ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරව නිමයි

editorial - 2019 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕවර 70 කදී - 2/252

ශ්‍රී ලංකාව පාකිස්තානය අතර රාවල්පිණ්ඩිහිදී පැවැති පළමු ටෙස්ට් තරග‍ය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ඕවර 70 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 252 ක් ලබා සිටියේය.

ඒ වන විට ආරම්භක පිතිකරු අබීඩ් අලී හතරේ පහර 11 ක් සමග ලකුණු 109 ක්ද, බාබර් අසාම් හතරේ පහර 14 ක් සමග ලකුණු 102 ක්ද ලබා න‍ොදැවී කඩුල්ලේ රැදී සිටියහ. බාබර්ට සිය දෙවැනි ටෙස්ට් ශතකය ලබාගැනීම සඳහා වැය වූයේ පන්දු 128 ක් පමණි. එහිදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ වේගය 79.69 ක අගයක් ගත්තේය.

අබීඩ් සහ බාබර් එක්ව පාකිස්තාන ඉනිමේ තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 162 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ අතර පන්දු යවන්නන් 7 දෙනෙක් යොදාගත්තද ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නට එම සම්බන්ධතාව බිඳ දැමීමට නොහැකි විය.

...................................................................................................................

ඕවර 61 කදී - 2/213

තේ පානයෙන් අනතුරුව ඕවර 8 යවා නිමවන ‍විට සිය මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමට පාකිස්තාන ආරම්භක පිතිකරු අබීඩ් අලී සමත් විය. පන්දු 183 කට මුහුණදෙමින් ලබාගත් එම ශතකය හතරේ පහර 11 කින් සැරසීමටද ඔහු සමත් විය.

මෙම ශතකයත් සමග සිය මංගල එක්දින තරගයේදී මෙන්ම මංගල ටෙස්ට් තරගයේදීද ශතකයක් ලබාගත් ලොව එකම ක්‍රීඩකයා ලෙස අබීඩ් අලී වාර්තා අතරට එක්විය.

ඕවර 61 ක් නිමාවන බර් අසාම් (73) සමග එක්ව පාකිස්තාන ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 123 ක නොබිඳුන සම්බන්ධතාවක් ගොඩනැගීමටද අබීඩ් සමත් වූ අතර බාබර්ගේ 13 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 10 කින් සමන්වති විය.

...................................................................................................................

ඕවර 53 කදී - 2/177

තේ පානය සඳහා තරගය නතර කරන විට පාකිස්තාන කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 177 ක් ලබා සිටි අතර ආරම්භක පිතිකරු අබීඩ් අලී හතරේ පහර 10 ක් සමග ලකුණු 91 ක්ද, බාබර් අසාම් හතරේ පහර 6 ක් සමග ලකුණු 47 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.

ඒ වන විට අබීඩ් සහ බාබර් එක්ව පාකිස්තාන කණ්ඩායමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 87 කි. මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අබීඩ් සිය මංගල ටෙස්ට් ශතකයද, බාබර් සිය 13 වැනි ටෙස්ට් අර්ධ ශතකයද පෙනෙන මානයේ සිටිති.

ඕවර 40 ක් නිමා වීමෙන් අනතුරුව පිට දඟ පන්දු යවන ක්‍රීඩක ධනංජය ද සිල්වා ඕවර 5 ක් යැවූ අතර පා දඟ පන්දු යවන්නන් වන ඕෂධ ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ඕවරය බැගින් යැවූහ. කුසල්ගේ ඕවරයේදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 14 ක් රැස්කිරීමට පාකිස්තාන පිතිකරුවෝ සමත් වූහ.

...................................................................................................................

ඕවර 40 කදී - 2/116

ඕවර 40 ක් අවසානයේ පාකිස්තාන කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 116 ක් ලබා සිටි අතර ඒ වන විට ආරම්භක පිතිකරු අබීඩ් අලී හතරේ පහර 7 ක් සමග ලකුණු 68 ක්ද, බාබර් අසාම් ලකුණු 9 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.

ළහිරු කුමරගේ පන්දුවක් හමුවේ මිඩ් විකට් කළාපය‍ෙ පන්දු රකිමින් සිටි දිමුත් කරුණාරත්න අතට උඩ පන්දුවක්‍ දෙමින් නායක අසාර් අලී ලකුණු 36 කට දැවී ගියේය. ඔහුගේ දැවී යෑමත් සමග ඔහු සහ අබීඩ් අලී එක්ව පාකිස්තාන ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ ලකුණු 87 ක සම්බන්ධතාවද නිමාවට පත් විය.

...................................................................................................................

ඕවර 30 කදී - 1/87

දිවා ආහාරයෙන් අනතුරුව මේ දක්වා ක්‍රියාත්මක වූ ඕවර 11 දී සිය ලකුණු පුවරුවට තවත් ලකුණු 33 ක් එක්කර ගැනීමට පාකිස්තාන පිතිකරුවෝ සමත් වූ නමුත් එකදු කඩුල්ලක් හෝ දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අසමත් වූහ. ඒ අනුව පාකිස්තාන කණ්ඩායමේ මුලු ලකුණු සංඛ්‍යාව 87 ක් දක්වා ඉහළ ගියේය.

ඕවර 30 ක් අවසානයේ ඉතා දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් සිටි ආරම්භක පිතිකරු අබීඩ් අලී හතරේ පහර 7 ක් සමග ලකුණු 50 ක්ද, නායක අසාර් අලී හතරේ පහර 4  ක් සමග ලකුණු 35 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. අබීඩ් අලී අද දිනයේදී ලබාගත්තේ සිය මංගල ටෙස්ට් අර්ධ ශතකයයි.

...................................................................................................................

ඕවර 19 කදී - 1/54

දිවා ආහාරය සඳහා තරගය නතර කරන දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තාන පිතිකරුවෝ ඕවර 19 ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 54 ක් ලබා සිටියේය. ඒ වන විට ආරම්භක පිතිකරු අබීඩ් අලී හතරේ පහර 5  ක් සමග ලකුණු 31 ක්ද, නායක අසාර් අලී හතරේ පහර 3  ක් සමග ලකුණු 21 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

පාකිස්තාන ඉනිමේ 12 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරා කැඳවුවද, දිවා ආහරය සඳහා තරගය නතර කරන තෙක්ම ඔහුට කඩුල්ලක් දවාගැනීමට නොහැකි විය. ‍අද දිනයේදී රාවල්පිණ්ඩි තනතීරුවේ එතරම් දඟ කැවීමෙක් දක්නට නොලැබීම ‍ඊට ප්‍රධානම හේතුව ලෙස හැඳින්විය හැකිය.

...................................................................................................................

ඕවර 10 කදී - 1/15

ඕවර 10 ක් නිමාවන විට පාකිස්තාන පිතිකරුවෝ ලකුණු 15 ක් ලබා ඉතා ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත වෙමින් සිටි අතර ඒ වන විට ආරම්භක පිතිකරු අබීඩ් අලී ලකුණු 7 ක්ද, නායක අසාර් අලී ලකුණු 6 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

විෂ්ව ප්‍රනාන්දු යැවූ ඕවර 4 දී ලකුණු 11 ක් රැස්කළ පාකිස්තාන පිතිකරුවන්ට කසුන් රාජිත යැවූ ඕවර 5 තුළදී ලබාගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි. කසුන් නිලකුණු ඕවර 2 ක් සමගද, විෂ්ව නිලකුණු ඕවරයක් සමගද මුල් ඕවර 10 නිමා කළහ.

මුල් ඕවර 5 තුළදීම පාකිස්තාන කණ්ඩා‍යමේ කඩුල්ලක් දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ශාන් මසූද් දැවී ගියේ කසුන් රාජිතගේ පුල් ටොස් පන්දුවක් හමුවේ එක්ස්ට්‍රා කවර් කළාපයේ පන්දු රකිමින් සිටි දින‍ේෂ් චන්දිමාල් අතට පහසු උඩ පන්දුවක් ලබා දෙමිනි.

...................................................................................................................

පෙරවරු 10.30

තරගයේ අවසන් දිනයේදී පාකිස්තාන ඉනිම ඇරඹීම සඳහා ශාන් මසූද් සමගින් අබීඩ් අලී පිටියට පිවිසෙති. පළමු ඕවරය යැවීම සඳහා කසුන් රාජිත සූදානම්.


අදහස් (0)

පළමු ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරව නිමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.