Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්ත ඉනිම 204 කට සීමාවෙයි

එංගලන්ත ඉනිම 204 කට සීමාවෙයි

editorial - 2020 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර එංගලන්තයේ සවුත්හැම්ප්ටන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය, දෙවැනි දිනයේ (9 වැනිදා) තේ පානය සඳහා නතර කරන විට එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 204ක් ලබාගත්තේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ කොදෙව් නායක ජේසන් හෝල්ඩර්,  එංගලන්ත පිතිකරුවන් අසරණ කරමින් ලකුණු 42 කට කඩුලු 6 ක් දවාගත් අතර ශැනන් ගේබ්‍රියල් ලකුණු 62 කට කඩුලු 4 ක් දවාගත්තේ එංගලන්ත ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා හෝල්ඩර්ට අනගි සහායක් දෙමිනි.

ලකුණු 87 කට කඩුලු 5 ක් බිඳවැටී අසීරු තත්වයකට පත්ව තිබූ එංගලන්ත කණ්ඩායම එම තත්වයෙන් මුදවාගත් නායක බෙන් ස්ටෝක්ස්, හතරේ පහර 7 ක් සමග ලකුණු 43 ක් රැස්කරමින් එංගලන්ත ඉනිමේ ඉහළම ලකුණු ලාභියා බවට පත්විය. ජොස් බට්ලර් (35) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 සම්බන්ධතාවක් ගොඩනැගීමටද ස්ටෝක්ස් සමත් විය.

ජේසන් හෝල්ඩර්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ෂේන් ඩොව්රිච් අතට උඩ පන්දුවක් දෙමින් ස්ටෝක්ස්ගේ දැවී ගිය අතර ඉන් අනතුරුව එංගලන්ත ඉනිමේ ඉතිරි කඩුලු 4 ලකුණු 50 ක් තුළ බිඳවැටිණ. ඉනිම නිමාවන තෙක්ම එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුවට පහරදුන් ඩොමිනික් බේස් හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 31 රැස්කළේය.

ස්ටෝක්ස් දැවී ගිය ආකාරයෙන්ම කඩුලු රකින්නාට උඩ පන්දුවක් දෙමින් බට්ලර්ද දැවී ගිය අතර ඒ වන විට එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 157 කට කඩුලු 7 ක් ලෙස සටහන් විය. එංගලන්ත කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවන් තිදෙනාටම හෝල්ඩර්ගේ සහ ගේබ්‍රියල්ගේ ආක්‍රමණශීලී පන්දු යැවීම හමුවේ ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට නොහැකි විය.

දෙවැනි දිනය සඳහා අද තරගය ආරම්භ වීමෙන් අනතුරුව ක්‍රියාත්මක කෙරුණ 6 වැනි ඕවරයේදී එංගලන්ත කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස ජෝ ඩෙන්ලිගේ (18) කඩුල්ල බිඳ දැමීමට ශැනන් ගේබ්‍රියල් සමත් විය. ඉන් නොනැවතුණ ගේබ්‍රියල්, ලකුණු 30 ක් ලබා සිටි ආරම්භක පිතිකරු රෝරි බර්න්ස්ද කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගත්තේ එංගලන්ත කණ්ඩායමට හිසරදයක් වෙමිනි.

දිවා ආහාරයට පෙර ගේබ්‍රියල්ට අනගි සහායක් දුන් හෝල්ඩර් තවත් කඩුලු 2 ක් දවාගනිමින් එංගලන්ත කණ්ඩායම කබලෙන් ලිපට ඇද දැමුවේය. එහිදී හෝල්ඩර්ගේ පන්දු හමුවේ සැක් ක්‍රොව්ලි (10) කඩුල්ල මුවාකරමින්ද, ඔලී පෝප් (12) කඩුලු රකින ක්‍රීඩක ෂේන් ඩොව්රිච් අතට පහසු උඩ පන්දුවක් දෙමින්ද පිටියෙන් ඉවත්ව ගියහ.  

දිවා ආහාරය ලබාගැනීමට ඕවර 2 කට පෙර අල්සාරි ජෝෂප්ගේ පන්දුවක් හමුවේ ස්ටෝක්ස් ගැසූ පුල් පහරකින් ඉහළ ඇදී ගිය පන්දුව උඩ පන්දුවක් ලෙස රැකගැනීමට ෆයින් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටි කේමර් රෝච් අසමත්වීම හේතුවෙන් ස්ටෝක්ස්ට තවදුරටත් කඩුල්ලේ රැදී සිටිමේ අවස්ථාව හිමිවිය.

එම අවස්ථාවේදී එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 89 ක් කට කඩුලු 5 ක් ලෙස සටහන් වූ අතර ස්ටෝක්ස්ගේ උඩ පන්දුව රැකගැනීමට රෝච් සමත් වූයේ නම් එංගලන්ත කණ්ඩායම ලකුණු 89 කට කඩුලු 6 ක් ලෙස තවත් අසරණ තත්වයට පත්වීමට ඉඩ තිබිණ. උඩ පන්දුව ලබා දෙන විට ස්ටෝක්ස් ලබා සිටියේ ලකුණු 14 ක් පමණි.


එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 204  
(රෝරි බර්න්ස් 30, ජෝ ඩෙන්ලි 18, බෙන් ස්ටෝක්ස් 43, ඔලී පෝප් 12, ජොස් බට්ලර් 35, ඩොමිනික් බේස් නොදැවී 31, ජේසන් හෝල්ඩර් 42/6, ශැනන් ගේබ්‍රියල් 62/4)

-036

 

- 036


අදහස් (0)

එංගලන්ත ඉනිම 204 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.