Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සටනක් දීමේ බලාපොරොත්තුවක්

සටනක් දීමේ බලාපොරොත්තුවක්

editorial - 2019 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරගයක ප්‍රතිඵලය කුමක් වූවත් තරග කරන සෑම අවස්ථාවකදීම ප්‍රතිවාදීන් හමුවේ සාධාරණ සටනක නිරත වීම මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නගේ අපේක්‍ෂාව වී තිබේ. කෙසේ වෙතත් වර්ෂාවේ බාධා කිරීම හේතුවෙන් පාකිස්තානු පිල හමුවේදී සිය බලාපොරොත්තු සුන්කර ගැනීමට කරුණාරත්නට සිදුවිය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර බ්‍රිස්ටල් නුවරදී ඊයේ (7 වැනිදා) පැවත්වීමට නියමිතව තිබූ තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා එකම පන්දුවක් හෝ නොයවාම තරගය අතහැර දැමීමට විනිසුරුවරුන්ට සිදුවිය.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් නවසීලන්ත පිල හමුවේ කඩුලු 10 කින් පරාජය වූ නමුත් ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැති තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම යන්තම් හිස් ඔසවා ගත්හ. එහෙත් ඒ පන්දු යවන්නන්ගේ උත්සාහයෙන් මිස පිතිකරුවන්ගේ දස්කම් මතින් නොවේ.

පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අපේක්‍ෂා කළේ වෙන දෙයක් වුණාවේ යයි සිතමින් තරගයට අවතීර්ණ වී අවස්ථාවක් ලැබුණොත් තරගය ජයගැනීමයි. එහෙත් වර්ෂාව හේතුවෙන් ඒ අවස්ථාවත් අහිමිව ගියේය.

“අපි ආවේ ක්‍රිකට් ගහන්න. අපට ඒකට අවස්ථාවක් නොලැබීම කණාගාටුවට කරුණක් තමයි....කණ්ඩායම වුණත් ඒ ගැන ඉන්නේ කණගාටුවෙන්. අපි ඊළඟ තරගය ගැන බලපොරොත්තු සහගතව සිටිනවා” යයි දිමුත් කරුණාරත්න ඊයේ තරගය අතහැර දැමීමෙන් පසුව පැවසීය.

“අපි ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැති තරගය ජයගත්තා. මේ තරගාවලියේ ඉදිරියට යාමේදී අපි තරගයක් දෙකක් පරදින්න පුළුවන් වුණත් අපි හැම වෙලාවකම  හොඳ සටනක් දෙනවා. අපට ඕනෑ කරන්නේ ඒකයි” යයිද දිමුත් කරුණාරත්න පැවසීය.

ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැති එක්දින තරග 9 කින් 8 ක්ම පරාජය වී සිටි නමුත් ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැති තරගයේදී ලබාගත් ජය තම කණ්ඩායමට ආශිර්වාදයක් බව දිමුත් කියයි. එම ජයග්‍රහණයෙන් ලබාගත් දේ ලබන අඟහරුවාදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයට අරගෙන යාම දිමුත් ඇතුළු කණ්ඩායමේ බලාපොරොත්තුවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාලතම හිසරදය වන්නේ මැද පෙළ කඩා වැටීමයි. නවසීලන්තයට එරෙහිව පැවැති පළමු තරගයේදී ලකුණු 136 කට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැති තරගයේ එක් අවස්ථාවකදී කඩුල්ලක් දැවී ලකුණු 144 ක් ලබා සිටියේය. එහෙත් පන්දු 26 ක් ඇතුළතදී ලකුණු 15 ක් ඇතුළත ශ්‍රී ලංකා පිලේ කඩුලු 5 ක් ඇද වැටුණු අතර ඇෆ්ඝනිස්ථානය හමුවේ ලකුණු 201 කට දැවී ගියේය.

“අපට හොඳ ආරම්භයක් ලැබුණොත් අපට ඒ තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යා හැකියි. ඒත් අවසන් තරග දෙකේදීම අපට ඒක කරගන්න බැරිවුණා. අපට මැද පෙළින් හොඳ සහයෝගයක් ඕන කරනවා.

බ්‍රිස්ටල්හිදී පැවැති තරගය වර්ෂාවට සේදී යාම හේතුවෙන් දෙපිලටම ප්‍රසාද ලකුණක් බැගින් හිමිවිය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානයේ සිටියද අද පැවැත්වෙන තරග දෙකින් පසුව ඒ තත්ත්වය වෙනස් වනු ඇත.

..


අදහස් (0)

සටනක් දීමේ බලාපොරොත්තුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.