Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පැමිණිල්ලක්

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පැමිණිල්ලක්

editorial - 2019 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති දකූණු ආසියානු ක්‍රීඩා උලෙලේ බැඩ්මින්ටන් තරගාවලිය සදහා ආරම්භයේදී පැවති තරග සැලැස්ම අවසන් මොහොතේ වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම නිල වශයෙන් පැමිණිල්ලක් කර තිබේ. මෙම පැමිණිල්ල දකුණු ආසියානු ක්‍රීඩා උලෙලේ තාක්ෂණික කමිටුවට ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායමේ කළමනාකරු තිලක් ජයසිරි මහතා පැවසූයේ  තරගාවලියේ සැලැස්මේ සිදු වූ මෙම හදිසි වෙනස්වීම නිසා සැලසුම් සහගතව තරගයට මුහුණ දීමට පැමිණි ක්‍රීඩකයන් අපහසුතාවයට පත්වූ බවයි.

“ඇත්ත වශයෙන්ම   තරග සංවිධායකයින්ගේ අවසන් සැලැස්මට අපි එකඟ විය යුතුයි. තීරණ ගනු ලැබුවේ මෙහි සංවිධායක මණ්ඩලය විසින්. නමුත් එය සිදුකර තිබෙන ආකාරය කිසිසේත්ම පිළිගත නොහැකියි”
“ඉහිරුණු කිරට හඬා පලක් නැහැ. නමුත් අපගේ කණ්ඩායමට මෙහිදී සලකනු ලැබූවේ අසාධාරණ ලෙසයි. අපි මේ සම්බන්ධයෙන් දකුණූ ආසියානු ක්‍රීඩා උලෙලේ තාක්ෂණික කමිටුවට නිල වශයෙන් පැමිණිල්ලක් කරලා තිබෙනවා” යයි ජයසිරි මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

දකුණු ආසියානු  ක්‍රීඩා උලෙලේ කේවල ඉසව්වලදී රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඉසව් වලදී රිදී පදක්කම් දිනා ගත්හ.

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් කණ්ඩායමේ කළමනාකරු තිලක් ජයසිරි මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට කණ්ඩායම් ඉසව්වලදී රන් පදක්කම් දෙකක්  දිනාගැනීමේ අවස්ථාව තිබුණත් නේපාල ඔලිම්පික් කමිටුවේ තාක්ෂණික කමිටුව විසින් අවසාන දිනයට පෙර තරග සැලසුම වෙනස් කිරීම නිසා එම ශ්‍රී ලංකා පිලට තිබූ  අවස්ථාව මග හැරී ගිය බවයි.

“මම තේරුම් ගත් දෙයක් තමයි අපේ කණ්ඩායම දිහා බලපු ඉන්දීය කණ්ඩායම විසින් අවසන් මිනිත්තුවේදී ඔවුන්ගේ කණ්ඩායමේ වෙනසක් කරපු බව”

“කුමන හේතුවක් නිසා හෝ දකුණු ආසියානු ක්‍රිඩා උලෙලේ  තාක්ෂණික කමිටුවට නොවැම්බර් 15 න් පසු කිසිම වෙනස්කමක් කළ නොහැකියි. මෙය ඉතා බරපතල ගැටලුවක්. ඇත්තෙන්ම එහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවනම් ඒ ගැන අපිට ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා.”

“මම මෙහිදී කළමනාකරු වශයෙන් නිල වශයෙන් එය ඉටු කරා වගේම අපි සාධාරණ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා” යැයිද තිලක් ජයසිරි මහතා පැවසීය.

කාන්තා යුගළ අවසන් මහ තරගයේදී තිළිණි හෙන්දහේවා සහ කවින්දි සිරිමාන්නගේ දෙදෙනා ජේෂ්ඨ ක්‍රීඩිකාවන් වන අචිනි රණසිරි සහ උපුලි සමන්තිකා පරාජය කරමින් රන් පදක්කම දිනාගත්හ. පළපුරුදු ක්‍රීඩිකාවන් වූ අචිනි රණසිරි සහ උපුලි සමන්තිකා රිදී පදක්කමට හිමිකම් කීහ.

සචින් ඩයස් හා බුවනෙක ගුණතිලක දෙදෙනා පිරිමි යුගල ඉසව්වේදී ඉන්දියාවේ ක්‍රිෂ්ණ ප්‍රසාද් සහ දුර්වි කපිල පරාජය කරමින් ශ්‍රී ලංකා පිලට දෙවැනි රන් පදක්කම දිනා දුන්හ. පසුව ඩයස් සහ හෙන්දහේවා එක්ව මිශ්‍ර යුගල අවසන් ඉසව්වේදී ඉන්දියාවේ දුර්වි කපිල සහ මේඝන ජක්කම්පුඩි දෙදෙනාට එරෙහිව තරග කළද ශ්‍රී ලංකා යුගළට රිදී පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායමේ නායක දිනුක කරුණාරත්න  ඉන්දීය ක්‍රීඩක සිරිල් වර්මාගේ ජයග්‍රාහී සෘජු ප්‍රහාර හමුවේ පරාජයට පත්විය. ඔහු පිරිමි කේවල ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය. මෙහිදී රත්නසිරි සහ දිල්මි ඩයස් කාන්තා කේවල අවසන් පූර්ව වටයේදී ඉවතට විසිවූ නමුත්  ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.

බැඩ්මින්ටන් කණ්ඩායම අද දිවයිනට පැමිණීමට නියමිතය.

ඡායාරූප - සමීර පීරිස්


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.