Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සාග් ක්‍රීඩා උළෙල නොසලකා හරී

සාග් ක්‍රීඩා උළෙල නොසලකා හරී

නාමල් පතිරගේ - 2021 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජාත්‍යන්තර දක්ෂතා  ප්‍රවර්ධනය සලකා බැලීමේදී ‘සාග්’ ක්‍රීඩා උළෙල නොසලකා හැරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. තවදුරටත් දකුණු ආසියානු මට්ටම අගැයීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා දස්කම් ප්‍රවර්ධනයට හිතකර නොවන බැවින් මෙම පියවර ගෙන තිබේ.

මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව සකස් කළ ඉහළ කාර්ය සාධක කමිටු වාර්තාව එළිදැක්වීමේ උත්සවයේදී අදහස් දැක්වූ ඒ මහතා  එහි පළමු අදියරේදී අවධානයට යොමුකළ මලල ක්‍රීඩා, බොක්සිං, පිහිනුම්, ජුඩෝ, බර ඉසිලීමේ හා පැරා (විශේෂ අවශ්‍යතා සහිත යන) ක්‍රීඩා ඉසව් හයකට අයත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 56 දෙනකු ප්‍රතිලාබ ලබන බව පැවසීය.

ඉහළ කාර්ය සාධක කමිටුව නිර්දේෂ කළ වාර්තාවට අනුව වසර 2022ට නියමිත ආසියානු  ක්‍රීඩා උළෙල පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල  ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලයීය යන පැරාලිම්පික් උළෙලවලදී පදක්කම් අපේක්ෂාවෙන් නිර්දේෂිත  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉහළ පහසුකම් ලබාදීමට ජාතික ක්‍රීඩා සභාව සිය කමිටු වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.

 එහිදී ක්‍රීඩකයන් දිරිගැන්වීම සඳහා  පදක්කම්ලාභීන්ට සුපිරි දීමනා හඳුන්වාදී තිබේ. ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයකුට තනි ඉසව් සඳහා රුපියල් මිලියන 50ක් හෙවත් කෝටි පහක මුදලක් ප්‍රදානය කෙරේ.

ආසියානු පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල තනි ඉසව් රන් පදක්කමේ සිට ලෝකඩ පදක්කමක් දිනාගැනීම දක්වා එහිදී පිරිනැමීමට යෝජනා කර ඇති  තෑගි මුදල රුපියල් මිලියන 15සිට පහක් දක්වා වන මුදලකි. ඔලිම්පික් ක්‍රීඩා කණ්ඩායම් ඉසව් රන් පදක්කමක් දිනා ගන්නා  ශ්‍රී ලාංකික කණ්ඩායමක් සඳහා රුපියල් මිලියන 100ක් (කෝටි 10ක්) ගෙවීමටත් ආසියානු හා පොදු  රාජ්‍ය රද මඩුලු රන් පදක්කමක් සඳහා නම් එය රුපියල් මිලියන 30ක්  (ලෝකඩ පදක්කමක් සඳහා රුපියල් මිලියන 10ක්) ලෙසත් ගෙවීමට නිර්දේශ වී තිබේ.

පළමු අදියරේදී ප්‍රතිලාභ ලබන මලල ක්‍රීඩිකාවන් ගණන 16කි. බර ඉසිලීමෙන් එය 13 කි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනකු බොක්සිං ක්‍රීඩාවෙන් ප්‍රතිලාභ ලබන අතර පිහිනුම් ක්‍රීඩාවෙන් මැතිව් අබේසිංහ හා ජුඩෝ ක්‍රීඩාවෙන් ආර්.සී.එන්. ධර්මවර්ධන යන ක්‍රීඩකයන් දෙදෙනා පමණක් පළමු අදියරේ ප්‍රතිලාභ ලේඛනයට ඇතුළත් වී තිබේ. විශේෂ අවශ්‍යතා සහිත දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් 15 දෙනකු ‘පැරා’ ක්‍රීඩා ඉසව් යටතේ ඉහළ කාර්ය සාධක කමිටුවෙන් ප්‍රතිලාභ නිර්දේශ වී තිබේ.

ඒ අනුව පළමු  අදියරේ ප්‍රතිලාභ ලබන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් කළ පුහුණුකරුවන් සඳහාද ප්‍රතිලාභ හා ඔවුන්ගේ ක්‍රීඩකයන් පදක්කම් දිනා ගන්නා අවස්ථාවේදී ලබාදෙන ගෙවීම්වලින් කොටසක්ද ලබාදේ. ඒ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රක්ෂණ ආවරණයක්ද ප්‍රතිලාභ අතරට එක්කර තිබේ. මෙය වෘත්තීයමය කොන්ත්‍රාත් ගිවිසුමක් ලෙස හැඳින්විය හැකි බව පෙරේදා (27) නව ව්‍යාපෘතිය එළිදැක්වීමේ මාධ්‍ය හමුවේදී ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඉහළ කාර්ය සාධක කමිටුව මෙම ව්‍යාපෘතිය යටතේ සිය මුල් සැලසුම් වසර 2030 දක්වා බලගැන්වීමට අපේක්ෂා කරයි. මේ යටතේ ප්‍රතිලාභ ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා නිරීක්ෂණය කෙරෙන ඔවුන්ට තොරතුරු මධ්‍යස්ථානයක් හා නිල වෙබ් අඩවියක් ස්ථාපිත කෙරේ.

 


අදහස් (0)

සාග් ක්‍රීඩා උළෙල නොසලකා හරී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.