Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මංජුල - නිර්මලී දෙවැනි වටයට

මංජුල - නිර්මලී දෙවැනි වටයට

Nisanka Sandeepani - 2017 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ භුබනේෂ්වර්හි කාලිංග ක්‍රීඩාංගනයේ කේන්ද්‍ර කොටගෙන දැන් ක්‍රියාත්මක 22 වැනි ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ ආරම්භක දිනය වූ ඊයේ (6 වැනිදා) පැවැති තරග වලදී මංජුල කුමාර විජේසේකර (උස පැනීම) සහ නිර්මලී මධුෂිකා (මීටර් 400) එහි අවසන් තරග වලට සුදුසුකම් ලබාගත්හ.

මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයේ දී අජිත් ප්‍රේමකුමාර සහ දිලිප් රුවන් අවසන් තරගයට සුදුසුකම් ලැබූ බව නිවේදනය වුවද වැරදි ආරම්භයක් හේතුවෙන් එහි ප්‍රතිඵල සමාලෝචනය කිරීමට තාක්ෂණික නිළධාරීහු පියවර ගත්හ.

මංජුල කුමාර විජේසේකර අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ උස පැනීමේ ඉසව්වේ මූලික වටයේදී සුදුසුකම් ලබාගැනීමේ අවම උස (මීටර් 2. 10) සාර්ථකව පැනීමෙනි. 

මීටර් 400 කාන්තා අවසන් පූර්ව වටයට සහභාගී වූ නිර්මලී මධුෂිකා සිය ඉසව්ව තත්. 54.38 කින් අවසන් කර 3 වැනි ස්ථානය දිනාගනිමින් අවසන් තරගයට සහභාගි වීමේ සුදුසුකම් ලැබුවාය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මංජුල කුමාර  ආසියානු ශූරතා දෙකකදී (ඉන්චියෝන් - 2005 සහ ගුවැන්ෂු- 2009 ) උස පැනීමේ රන් පදක්කම් දිනා ඇති අතර හෙතෙම 2004 වසරේ සිය ඉසව්ව මීටර් 2.27 කින් නිම  කර උපරිම දක්ෂතාවය ප්‍රදර්ශනය කර තිබේ. 

මෙවර ආසියානු ශූරතාවලියේ  උස පැනීමේ ඉසව්ව්ට සහභාගි වන ක්‍රීඩකයන් 16 දෙනා අතරින්  වයසින් වැඩිම ක්‍රීඩකයා වන්නේද 33 වැනි වියේ පසුවන මංජුල කුමාරයි. ලබන වසරේදී ජකර්තාහිදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලින් පසු විශ්‍රාම ගැනීමට සූදානම් වන  මංජුලගේ අවසන් ආසියානු ශූරතා තරගාවලිය මෙයයි.

අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය අගෝස්තු මස 4 සිට 13 දක්වා පැවැත්වේ.

මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ  වරම හිමිකර ගැනීමට නම් මංජුල කුමාර අද දිනයේ අවම වශයෙන් මීටර් 2.30 ක උසක් පැනිය යුතුය. මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී උස පැනීමේ ඉසව්ව වෙනුවෙන් නම්කර ඇති පරිසාධන මට්ටම මීටර් 2.30 කි.

හෙට මුහුණ දීමට නියමිත  අවසන් තරගය සම්බන්ධ අදහස් දැක්වූ  මංජුල කුමාර විජේසේකර කියා සිටියේ   එම තරගය අසීරු අවසන් තරගයක් විය හැකි බවයි. 

උස පැනීමේ  ඉසව්වේ ප්‍රබලයන් වන චීනයේ සැන් ගෝවේ සහ බයිලොන්ද මෙන්ම කොරියාවේ වූ සැන්ගොක් සහ ජපානයේ හිරෝමි තකහරි තමාට වඩා ඉදිරියෙන් සිටින බවත් තරගයේ පදක්කම් දිනා ගැනීමට නම් මීටර් 2.25 සීමාව පසුකළ යුතුව ඇති බවත් මංජුල පැවසීය. 

“මම හොඳින් පුහුණුවීම් කළා. ඒ වගේම හොඳ ශරිර සෞඛයෙන් සිටිනවා. මම පසුගිය අප්‍රේල් මාසයේ පැවති පළමු තේරීම් තරගාවලියේ දී නිම කළ මීටර් 2.25 සීමාව ඉක්මවා ගිය හොත් පදක්කම් දිනා ගැනීමේ අවස්ථාව තියෙනවා යැයි” ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර මීටර් 100 පිරිමි ඉසව්වේ මූලික වටයට සහභාගි වූ හිමාෂ ඒෂාන් සහ විනෝජ් සුරංජය ද සිල්වා එහි  අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ. 

හිමාෂ ඒෂාන්  පළමු මූලික වටය තත්පර 10.47 කින් නිම කර දෙවන ස්ථානය දිනා ගනිමින්ද, විනෝද් සුරංජය සිල්වා ඉසව්වේ පස්වැනි මූලික වටය හා ත. 10.44 කින් නිම කර එහි දෙවැනි ස්ථානය දිනා ගනිමින් අවසන් පූර්ව වටයට වරම් ලැබූහ.

මීට අමතරව පිරිමි මීටර් 100 මූලික වටය තරග හයකින් සමන්විත වූ අතර  එහිදී සහ ක්‍රීඩකයන් 3 දෙනෙකු වැරදි තරග ආරම්භයක් ලබා ගැනීම නිසා තරගයෙන් ඉවත් කෙරුණි.

ශ්‍රී ලංකාවේ කෙටි ධාවන ශූරිය වන රුමේෂිකා රත්නායකද ඊයේ මීටර් 100 කාන්තා ඉසව්වේ හතර වැනි මූලික තරගයට සහභාගී වූ නමුත්  ඇය වැරදි  තරග ආරම්භයක් ලබා ගැනීම හේතුවෙන්  තරගයෙන් ඉවත් කරන ලදි. 

මීටර් 100 ඉසව්වේ දී ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වැරදි තරග ආරම්භය නිසා  තරගයෙන් ඉවත් කෙරුණ අවස්ථාවේ දී ඊට විරෝධය පා යළි තරග කිරීමේ අවස්ථාව හිමිකරගත් නමුත් රුමේෂිකා එවන් විරෝධයක් නොපෙන්වා කෙලින්ම තරගයෙන් ඉවත්වීම මතභේදයකට හේතු වූවාය.

මේ සම්බන්ධයෙන් කෙරුණු විමසීමේදී  “එහිදී  අපිට කරන්න දෙයක් නෑ. රුමේෂිකා ඒ අවස්ථාවේ විරෝධය පෑමක් කළේ නෑ” යැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති  මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවසීය.


අදහස් (0)

මංජුල - නිර්මලී දෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.