
නාමල් පතිරගේ
බංග්ලාදේශයේ ඩකා නුවරදී පෙරේදා (28) නිමාවට පත්වූ මධ්‍යම ආසියානු ජාතින්ගේ වොලිබෝල් (පිරිමි) තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීමේ තරගය සත්කාරක බංග්ලාදේශය වට 3 - 0 කින් පරාජය කරමින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ ලකුණු 25/20 - 25/23 - 25/20 ක් පරිදිය.
තරගාවලියේ ශූරතාව තුර්ක්මෙනිස්ථානය විසින් දිනා ගත්තේ අවසන් මහ තරගයේදී ඇෆ්ගනිස්තානය වට 3 /0 කට පරාජය කරමිනි. තරගාවලියේදී ශ්‍රී ලංකාව අත් කර ගත් තවත් කීර්තියක් වන්නේ එහි දක්ෂතම පන්දු ආවරණය කරන්නා සම්මානය ශ්‍රී ලංකා ක්‍රීඩක අයේෂ් පෙරේරාට හිමි වීමයි.
කෙසේවූවත් මෙම තරගාවලියට සහභාගි වීමේ ශ්‍රී ලංකාවේ මුල් අරමුණ ඉටු කර ගැනීමට තෙවැනි ස්ථානය ලැබීම ප්‍රමාණවත් නොවීය. මෙම තරගාවලියට සහභාගි වීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය වූයේ මධ්‍යම ආසියානු කලාපයේ දැනට ගත කරන ‘බී‘ කාණ්ඩයෙන් ‘ඒ‘ කාණ්ඩයට උසස් වීමයි.ඒ සදහා අවම සුදුසුකම වූයේ තරගාවලියේ අනුශූරතාව හිමි කර ගැනීමයි.
එහෙත් තරගාවලියේ මූලික වටය නිමාවේදී ශ්‍රී ලංකාව අවසන් මහ තරගයට නිර්දේශ ලබා ගැනීමට අසමත් විය. ඒ නිසා නැවැත ඒ ගැන සිතීමට ශ්‍රී ලංකාවට ලබන වසර (2026) තරගාවලිය දක්වා බලා සිටීමට සිදු වන බව මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම්ඒ.එස්. නාලක මහතා පවසයි.
කෙසේවූවත් ශ්‍රී ලංකාව සමස්ත තරගාවලියේදී තරග හතරක් ජය ගැනීමට සමත්වූ අතර එහිදී අනුශූරතාව ලද ඇෆ්ගනිස්තානය පරාජයට පත් කිරීමට සමත්වීමත් කැපී පෙණුනි. ඒ අතර තෙවැනි ස්ථානය තේරීමේ තරගයෙන් ඊයේ ශ්‍රී ලංකාවට පරාජය වූ සත්කාරක බංග්ලාදේශය විසින් මූලික වටයේදී ශ්‍රී ලංකාව පරාජයට පත් කර සිටීමටත් තවත් කැපී පෙනෙන සිදුවීමකි.
මූලික වටය අවසානයේදී ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය තරග තුන බැගින් ජය ගෙන සම තත්වයේ පසුවූවත් එතෙක් තරගාවලිය පුරා ප්‍රතිවාදීන්ට දෙපිල පරාජයවී තිබෙන වට වාසියෙන් අවසන් මහ තරගයේ අවස්ථාව ඇෆ්ගනිස්තානයට හිමි විය.
මෙවර තරගාවලියේ ශූරතාව දිනූ තුර්ක්මෙනිස්ථානයත් අනුශූරතාව ලද ඇෆ්ග්නිස්ථානයත් මධ්‍යම ආසියානු කලාපයේ ‘ඒ‘ කාණ්ඩයට උසස්වීම් ලැබීය.
ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් (පිරිමි) කණ්ඩායමේ හිටපු නායකයකු වන කාලික වසන්තප්‍රිය මහතා මෙම තරග සංචාරයේදී පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයේ කටයුතු කළේය. පෙරේදා තෙවැනි ස්ථානය තේරීමේ තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා කණ්ඩායමේ මොහොමඩ් තාහීර්ට හිමි විය.
ශ්‍රී ලංකාව මූලික වටයේ සහභාගි වූ තරග ප්‍රතිඵල
• ඇෆ්ගනිස්තානයට එරෙහිව වට 3- 2 ක ජයක් (25/23 - 22/25 -26/28 -25/22 - 15/11)
• තුර්ක්මෙනිස්ථානය එරෙහිව වට 3 - 1 ක පරාජයක් (22/25 - 16/25 - 25/20 - 20/25)
• බංග්ලාදේශයට එරෙහිව වට 3 - 2 ක පරාජයක් (20/ 25 - 21/25 - 25/15 - 25/22 - 11/15)
• මාලදිවයිනට එරෙහිව වට 3 - 0 ක ජයක් (25/21 - 27/25 - 25/18)
• නේපාලයට එරෙහිව වට 3 - 0 ක ජයක් (25/18 -25/17 - 25/20)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.