Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හොකී ක්‍රීඩාංගණ 2ට රුපියල් කෝටි 22 ක්

හොකී ක්‍රීඩාංගණ 2ට රුපියල් කෝටි 22 ක්

editorial - 2023 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

රුපියල් කෝටි 22 ක (මිලියන 220 ක්) වියදමින් කොළඹ රීඩ් මාවත හා මාතලේ කෘතිම හොකී ක්‍රීඩාංගණ දෙකේ නවීකරණ කටයුතු ආරම්භ කෙරේ. එහිදී රුපියල් මිලියන 77 ක් බැගින් වන වටිනාකමින් යුත් "ඔලිම්පික් බ්ලූ පොලිටන්" නමැති නවීනතම කෘතිම තීරු දෙකක් ක්‍රීඩාංගණ දෙකේ ඇතිරීමට නියමිතය.

සෙසු වියදම් ඉදිකිරීම් කටයුතු සඳහා වෙන්කෙරේ.

මේ සඳහා වන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම අද (18) එහි පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සිදු කෙරෙනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික මට්ටමට පැවැති එකම කෘතිම හොකී ක්‍රීඩාංගණය ලෙස සළකන්නේ 1996 දී ඇතිරූ රීඩ් මාවත කෘතිම හොකී පිටියයි. මාතලේ හොකී ක්‍රීඩාංගණය කෘතිම තණතීරුවකින් සමන්විත දෙවැනි හොකී ක්‍රීඩාංගණයයි.

මෙම ක්‍රීඩාංගණ දෙකම දැනට වසර ගණනාවක් තිස්සේ ඉතා අබලන් තත්වයෙන් පසුවන අතර මේ වනවිට ඒවායෙහි දේශීය තරග පැවැත්වීමද අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකාවට සහන මිල ගණන් යටතේ මෙම කෘතිම හොකී තණතීරු දෙක ලබාදීම සඳහා ලෝක හොකී සම්මේලනයේ දායකත්වයෙන් ආසියානු හොකී සම්මේලනය මැදිහත්වීම් කර තිබේ. එක් තණ තීරුවක් සඳහා ඇමරිකානු ඩොලර් 2,35,000 ක් වන සහන මිලක් එහිදී නියම කර තිබේ. එසේ නොවන්නට මෙම එක් කෘතිම තණ තීරුවක සාමාන්‍ය මිල එම වටිනාකම මෙන් දෙගුණයක අගයක් ගන්නා බවද වාර්තාවේ.

පසුගිය නොවැම්බර් 27 වැනිදා පත්වීම් ලද නව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන පළමු මහ පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘතිය බවට මෙම කෘතිම හොකී ක්‍රීඩාංගණ දෙකේ ඉදිකිරීම් පත්ව තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝක හොකී සම්මේලනය හා ආසියානු හොකී සම්මේලනය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම සිකුරාදා (15) මලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවරදී සිදු කෙරුණි. ඒ එහිදී ලෝක කනිෂ්ඨ හොකී තරගාවලියට සමගාමීව පැවැති ලෝක හොකී සම්මේලනයේ විධායක සභා රැස්වීමේදීය. එහිදී මේ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකා නියෝජිතයන්ට ආරාධනා කර තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම අවස්ථාවට ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වන ක්‍රීඩා රාජ්‍ය ඇමැති, රෝහණ දිසානායක හා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය (විශ්‍රාමික රියර් අද්මිරාල්) ෂෙමාල් ප්‍රනාන්දු යන මහත්වරු සහභාගී වූහ.

රීඩ් මාවත කෘතිම හොකී ක්‍රීඩාංගණය නවීකරණය සඳහා මීට පෙර අන්තර්ජාතික හොකී සම්මේලනය ලබාදුන් රුපියල් මිලියන 60 කට ආසන්න මුදලක්ද මේ සඳහා වැය කෙරේ.

මේ අතර වාර්තා වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ද මෙම කෘතිම හොකී පිටිවල ඉදිකිරීම් සඳහා අනුග්‍රහය ලැබෙනු ඇතැයි වාර්තාවේ.

 
 
 

කොළඹ කෘතිම හොකී ක්‍රීඩාංගණයේ වත්මන් තත්ත්වය

ඡායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ


අදහස් (0)

හොකී ක්‍රීඩාංගණ 2ට රුපියල් කෝටි 22 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.