.jpg)
ශ්‍රී ලංකා පිල හමුවේ ලද පරාජයෙන් පසුව ඇසෙන දොස් පරොස් වලට ඉවසීමෙන් ඇහුම්කන් දෙමින් සිටින අතරම සිය කණ්ඩායම ශුරයන්ගේ කුසලාන අවසන් පූර්ව වටයට රැගෙන යාමේ අභියෝගයට මුහුණ දීමට විරාට් කෝලිට සිදුවී තිබේ. දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී ජයග්‍රහණය කළහොත් පමණක් කෝලිට එම අවස්ථාව ලැබෙනු ඇත.
මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට ‘බී‘කාණ්ඩයෙන් සුදුසුකම් ලබන පළමු කණ්ඩායම තීරණය කෙරෙන්නේද අද (11) පැවැත්වෙන තරගයේදීය. එය එක් අතකින් මියෙම්වා රැකෙම්වා වර්ගයේ තරගයක් මෙන්ම අනිත් අතට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අර්ධ අවසන් පූර්ව තරගයක් බවට ද පත්වී ඇත.
ශ්‍රී ලංකා පිල හමුවේ පරාජයට පත්වීමෙන් පසුව ශූරයන්ගේ කුසලානයේ වත්මන් අයිතිකරුවන් වන ඉන්දීය පිලේ විශ්වාසනීයත්වය තරමක් දුරට සලිත වී තිබේ. එසේ වුවත් ඉන්දිය පිල, විශේෂයෙන් කෝලි අද තරගයේදී දකුණු අප්‍රිකානුවන් තව දුරටත් ‘හුස්ම හිරකරගන්නන්’ (පහසුවෙන් ආහාරට ගතහැකි යමක් උගුරේ සිරකරගැනීම නිසා ස්වාස නාලය ඇහිරී හුස්ම හිරවීමෙන් මියයාම මෙයින් අදහස් කෙරේ) ලෙසින්ම තැබීමට හැකි සෑම උත්සාහයක්ම දරනු නිසැකය.
හුස්ම හිරකරගන්නන් යන අරුත දනවන ‘චෝකර්ස්’ නාමය දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිලට පට බැඳී ඇත්තේ ප්‍රධාන පෙලේ ක්‍රිකට් තරගාවලි සෑම එකකදීම වාගේ කුසලානය අසළටමඑ න දකුණු අප්‍රිකානු පිල කුෂලානය පෙනි පෙනී පරාජය වීමේ ඉතිහාසයක් ඔවුනට ඇති බැවිනි. 1992 ලෝක කුසලාන තරගවලියේ සිටම මෙම තත්ත්වය දක්නට ලැබුණු අතර වර්තමානයේදී ක්‍රියාත්මක වන ඩක්වර්ත් ලුවිස් න්‍යාය හඳුන්වාදීමට මූලික වූයේත් 1992 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකානුවන් එංගලන්තය හමුවේ පරාජය වූ ආකාරය නිසාය.
ඉදින් අද පැවැත්වෙන තරගයේදීත් දකුණු අප්‍රිකාවට පරාජය අත්වුවහොත් මේ ‘හුස්ම හිරකරගන්නා’ ගේ පටබැඳි නාමය තවදුරටත් ඉදිරියටම යන අතරම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරී්ම්වල ඔවුන්ට හිමිවී ඇති අංක එකේ ස්ථානය අවසන් පූර්ව වටයට පෙරම ගැලවී යනු නිසැකය.
අනෙක් අතට ඉන්දිය පිල පරාජයට පත්වූවහොත් වත්මන් ශූරයන්ට අවසන් පූර්ව තරගයට පෙරම හිස් අතින් ගෙදර යාමට සිදුවනු ඇත.
ඉහළ දස්කම්වලින් පරිපූර්ණ වමත් පිතිකරුවන් තිදෙනකු වන ක්වින්ටන් ඩි කොක්, ජේ. පී. ඩුමිනි සහ ඬේවිඞ් මිලර් දකුණු අප්‍රිකානු පිතිහරඹ ලැයිස්තුව ශක්තිමත් කරන බැවින් රවිචන්ද්‍රන් අශ්වින් තවදුරටත් ශීත ගබඩාවේ තැන්පත් කර තැබීමට කෝලිට නොහැකිය. පළමු තරග 2 කින්ම ඉවත්කර සිටි මේ විශිෂ්ට දඟපන්දු යවන්නාට කවුරුත් දන්නා පිට දඟ පන්දුව හැරුණාම තවත් විවිධාකාරයේ පන්දු රැසක්ම තිබේ. ඉන්දියානුවන් අශ්වින්ව සඟවා ගත්තේ තීරණාත්මක තරගයක් සඳහා කඳවීමේ අටියෙනි. එහෙත් ශ්‍රී ලංකාවට එරෙහි තරගයේදී අශ්වින් බංකුවේ තබාගැනීම ගැන ඉන්දියානුවෝ දැන් පසුතැවෙමින් සිටිති.
එබැවින් ඉන්දීය පිලට මුහුණදීමට සිදුවී ඇති තත්ත්වය හොඳින් වටහාගෙන සිය තීක්ෂණ නුවණ පාවිච්චි කර අද තරගයට හොඳම ක්‍රීඩකයන් යෙදවීමට කෝලි කල්පනා කරනු ඇත.
අශ්වින් අද තරගයට ක්‍රීඩා කිරිම තර්කානුකූලව නිවැරැදි වුවත් ඒ වෙනුවට සහතිකවම රවීන්ද්‍ර ජජේදා ඉවත් නොකරනු ඇතැයි සිතිය හැක්කේ දකුණු අප්‍රිකාවට එරෙහිව දඟපන්දු යවන්නන් දෙදෙනකු යෙදවීම ඉන්දියාවේ අරමුණවී ඇති බැවිනි. අනික් කරුණ යාර 30 සීමාව තුළ විදුලි වේගයෙනුත්, ඕනෑම තැනක හතරේ සීමාව අසළ සිට පන්දුව වේගයෙන් වීසි කිරිමට තරම් ශක්තිමත් අතකුත් ජජේදාට තිබීමය. ඔහු එක්දින තරගවලදී විපුල ප්‍රයෝජන ගෙනදෙන ක්‍රීඩකයකු වී ඇත්තේ එසේ එක් තරගයකදී අඩුම තරමින් ලකුණු 15 ක්වත් ඉතිරි කිරීමට දක්වන දක්ෂතාව නිසාය.
ශ්‍රී ලංකා පිල හමුවේ විස්මිත පරාජයක් අත්වූවත් කෝලිගේ සැනසිල්ලට කාරණාවක් වී ඇත්තේ ආරම්භක පිතිකරුවන් වන ශිකර් ධවාන් සහ රෝහිත් ෂර්මාගේ යහපත් සම්බන්ධතාවයි. දෙදෙනාම ආරම්භක පිතිකරුවන්ගේ රාජකාරිය නිවැරැදිව කරන නිසා ඊළඟට එන නායක කෝලිට ඔහුගේ සුපුරුදු සටන්කාමීත්වයට පිවිසීම පහසුය. අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් වන හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සහ යුව්රාජ් සිං පසුපසින් සිටින නිසා කෝලිට එය කදිම උත්තේජනයකි.
ප්‍රධාන මට්ටමේ තරගාවලි අතර කුසලානයට සමීප වෙද්දී හුස්ම හිරකරගන්නා ගතිය හැරුණාම මෙම තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට වීමට වෙනත් කිසිදු හේතුවක් නම් දකින්නට නොමැත. නායක ඒ.බී. ඩිවිලියර්ස් සහ ෆෆ් ඩු ප්ලෙසි වටා ගොඩනැගෙන දකුණු අප්‍රිකානුවන්ගේ පිතිහරඹ ලැයිස්තුවට හසිම් අම්ලා, ඬේවිඞ් මිලර් මෙන්ම ජේ. පී. ඩුමිනිද ඇතුළත් වෙති. ඉම්රාන් තාහීර්, කගීසෝ රබාඩා සහ මෝර්නි මෝකල් ඔවුන්ගේ පන්දු යැවීමේ අංශය එහෙම පිටින්ම ශක්තිමත් කර තිබේ.
ඒ අතින් බැලූ විට ඉන්දියාවට හෙට මුණගැසෙන ප්‍රතිවාදියා මීට පෙර හමුවුණු ප්‍රතිවාදීන් දෙදෙනාටම වඩා හාත්පසින්ම වෙනස් ආකාරයෙන් ඉන්දීය පිලේ තත්ත්වය පරීක්ෂාවට ලක් කරනු ඇත.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.