Last Update  :  2025-05-02 21:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හැව්ලොක් පිල හමුවේ නාවිකයෝ පසුබසිති
අන්තර් සමාජ රග්බි

හැව්ලොක් පිල හමුවේ නාවිකයෝ පසුබසිති

editorial - 2022 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගය යටතේ ඊයේ (29 වැනිදා) වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් නාවික හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 22-10 ක පහසු ජයක් වාර්තා කිරීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය.

තරගයේ පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 15-00 ක් ලෙස පෙරමුණ ගෙන සිටි හැව්ලොක් ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී සිය කණ්ඩායමට තවත් ලකුණු 7 එක්කර ගත්හ. දෙවැනි අර්ධයේදී ලකුණු 10 ක් රැස්කිරීමට නාවික හමුදාව සමත් වුවද, පළමු අර්ධය අවසන් වන විට පැවැති පරතරය හේතුවෙන් තරගයේ ජය හැව්ලොක් කණ්ඩායම සතු විය.

පළමු අර්ධයේදී හැව්ලොක් කණ්ඩායම ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සමග ලකුණු රැස්කළ අතර දිනූප සෙනෙවිරත්න සහ ක්‍රිස්ටියන් ද ලී එහිදී උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් දෙවැනි උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සහ දඬුවම් පහර සාර්ථක කරගනු ලැබුවේ සන්දේෂ් ජයවික්‍රම විසිනි.

දෙවැනි අර්ධයේදී නාවික හමුදාව වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කරගත් තිළිණ වීරසිංහ, ඉන් නොනැවතී මුෂින් ෆලීල් ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනයද සාර්ථක කරගැනීමට සමත් විය. එම අර්ධයේදී හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් මිතුන් හපුගොඩ ලබාගත් උත්සාහ දිනුම සන්දේෂ් ජයවික්‍රම ගෝලයක් බවට පත් කළේය.

මෙම තරගයේදී හැව්ලොක් ක්‍රීඩා සමාජයේ මලීෂ ජයරත්න 40 වැනි විනාඩියේදීද, රැන්ඩි සිල්වා 58 වැනි විනාඩියේදීද, ෂේන් ඩයස් 62 වැනි විනාඩියේදීද විනිසුරුගේ දැඩි අවවාද සමග කහ පැහැති කාඩ්පත් ලැබූහ.

ඡායාරූප - ශ්‍රී ලංකා රග්බි සංගමය අනුග්‍රහයෙනි 


අදහස් (0)

හැව්ලොක් පිල හමුවේ නාවිකයෝ පසුබසිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.