Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හරි - අපි පිට්ටනියෙදි බලාගම්මු
ආසියානු කුසලාන

හරි - අපි පිට්ටනියෙදි බලාගම්මු

editorial - 2022 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ඩුබායි සිට..)

ලෝක මට්ටමේ පන්දු යවන්නන් නොමැති බැවින් ඇෆ්ඝනිස්ථානයට වඩා බංග්ලාදේශය පරාජය කිරීමට පහසු කණ්ඩායමක් යැයි ශ්‍රී ලංකා නායක දසුන් ශානක කළ ප්‍රකාශයට කතාවෙන් නොව ක්‍රියාවෙන් පිළිතුරු දීමට තම කණ්ඩායම සූදානමින් සිටින බව බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක මෙහෙදි හසන් පවසයි. ඔහු ඒ බව කියා සිටියේ ඇෆ්ඝනිස්ථාන - බංග්ලාදේශ තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදීය.

ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාෙදශය අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (30 වැනිදා) පස්වරු 7.30 සිට සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේද පැවැත්වේ.

“මේ කණ්ඩායම හොඳයි, මේ කණ්ඩායම නරකයි කියලා අදහස් දක්වන්න මම කැමති නෑ. හොඳ කවුද නරක කවුද කියලා අපිට ක්‍රීඩාංගණයේදී බලාගන්න පුළුවන් වේවි. කොච්චර හොඳ කණ්ඩායමක් වුණත් එදා දවස නරක විදියට ක්‍රීඩා කළොත් පරදිනවා. ඒ වගේම තමා කොච්චර නරක කණ්ඩායමක් වුණත් එදා දවස හොඳට ක්‍රීඩා කළොත් දිනනවා.” යැයි හසන් එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

“අපි ක්‍රීඩාංගණයේදී හමුවෙමු. ඒ දවස අවසානයේ හොඳ කණ්ඩායම ජයගනීවි."

"මට හිතෙන්නෙ නම් එය ක්‍රීඩාංගණයේදී ඔප්පු කළ යුතු දෙයක්. එදාට අපි හොඳින් ක්‍රීඩා කළොත් හොඳ කණ්ඩායම මොකක්ද, නරක කණ්ඩායම මොකක්ද කියලා හැමෝම දැනගනීවි. ඒ නිසා තරගයට පෙර අනාවැකි කියනවාට වඩා තරගයේදී හොඳින් ක්‍රීඩා කරලා පෙන්වන එක වැදගත් කියට මම හිතනවා.” යැයිද හසන් සඳහන් කළේය.

ඇෆ්ඝනිස්ථානය හමුවේ පරාජයට පත්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් දසුන් ශානක කියා සිටියේ ඇෆ්ඝනිස්ථානය සතුව ලෝක මට්ටමේ පන්දු යැවීමේ බලඅැණියක් පවතින බවත්, බංග්ලාදේශයට එවන් පන්දු යැවීමේ බල අැණියක් නොමැති බවත්ය. එබැවින් ඇෆ්ඝනිස්ථානයට සාපේක්ෂව බංග්ලාදේශය පහසුවෙන් පරාජය කළ හැකි කණ්ඩායමක් බවද එහිදී ඔහු සඳහන් කළේය.

“මුස්තෆිසුර් රහමන් කියන්නෙ දක්ෂ පන්දු යවන්නෙක්. ශකීබ් අල් හසන් කියන්නෙ ලෝක මට්ටමේ පන්දු යවන්නෙක්. ඒත් ඔවුන් දෙදෙනා හැර ඔවුන්ට වෙනත් ලෝක මට්ටමේ පන්දු යවන්නෝ නෑ. ඒ නිසා ඇ‍ෆ්ඝනිස්තානය සමග සන්නන්දනය කිරීමේදී බංග්ලාදේශය පරාජය කරන්න පහසු කණ්ඩායමක් කියලා මට හිතෙනවා.” යැයිද දසුන් එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා විස්සයි-20 ජාත්‍යන්තර තරග 12 ක් පැවැත්වී ඇති අතර ඉන් 8 ක් ජයගැනීමට ශ්‍රී ලංකාවද, 4 ක් ජයගැනීමට බංග්ලාදේශයද සමත්ව තිබේ. කෙසේ වුවත් 2018 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති නිදහස් කුසලාන තරගාවලියේදී දෙවරක්ම බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට පවා නොහැකි විය.

ඉන් අනතරුව ඔවුන් එකිනෙකාට එරෙහිව තරග වැදුණේ ඉකුත් වසරේ (2021) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී පමණි. සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේදී කඩුලු 5 කින් බංග්ලාදේශය පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. එතැන් පටන් මේ දක්වා වසරකට ආසන්න කාලයක් මෙම කණ්ඩායම් දෙක විස්සයි-20 තරගයකදී මුහුණට මුහුණ හමුවී නැත.


අදහස් (0)

හරි - අපි පිට්ටනියෙදි බලාගම්මු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.