Last Update  :  2025-07-16 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හයිද්‍රාබාද් පිලත් තරගාවලියෙන් ඉවතට
අයි.පී.එල්. - 2023

හයිද්‍රාබාද් පිලත් තරගාවලියෙන් ඉවතට

editorial - 2023 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරග 62 ක් නිමාවට පත්වන විට අවසන් වටයට සුදුසුකම් නොලබා තරගාවලියෙන් ඉවත්වන දෙවැනි කණ්ඩායම බවට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පත්ව සිටියි. මේ දක්වා තරග 12 කට සහභාගි වී සිටින හයිද්‍රාබාද් කණ්ඩායම ඉන් තරග 8 ක් පරාජයට පත්ව ඇති අතර ජයගෙන ඇත්තේ තරග 4 ක් පමණි. 

හයිද්‍රාබාද් කණ්ඩායමට පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමද අවසන් වටයට පිවිසීමේ අවස්ථාව අහිමිකර ගත්තේය. මෙම කණ්ඩායම් දෙකටම තවත් මූලික වටයේ තරග 2 බැගින් ඉතිරිව ඇති නමුත් එම තරග ජයගත්තද, ඔවුන්ට අවසන් වටයට පිවිසීමට නොහැකි වනු ඇත. ඒ අනුව මේ වන විට දිල්ලි සහ හයිද්‍රාබාද් කණ්ඩායම් නිල වශයෙන් තරගාවලියෙන් ඉවත්වී ඇත. 

නිල වශයෙන් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම බවට පත්වීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ (15 වැනිදා) සමත් වූ අතර තවත් කණ්ඩායම් 3 කට ඒ සඳහා අවස්ථාව පවතී. දිල්ලි සහ හයිද්‍රාබාද් හැරුණු කොට සෙසු කණ්ඩායම් 7 ටම තවදුරටත් අවසන් වටයට පිවිසීමේ අවස්ථාව ඇති බැවින් මූලික වටයේ අවසන් තරග කිහිපය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවන චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් මේ වන විට අවසන් වටය පෙනෙන මානයේ පසුවන අතර ඒ සඳහා ඔවුන්ට අවශ්‍යව ඇත්තේ තවත් එක් ජයග්‍රහණය බැගිනි. චෙන්නායි කණ්ඩායම එක් තරගයක් ඉතිරිව තිබියදී ලකුණු 15 ක්ද, මුම්බායි කණ්ඩායම තරග 2 ක් ඉතිරිව තිබියදී ලකුණු 14 ක්ද ලබා සිටිති.  

අවසන් වටයට සුදුසුකම් ලබාගන්නා සෙසු කණ්ඩායම් තුන අතරට පැමිණීම සඳහා ලක්නව් සුපර් ජයන්ට්ස්, රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්, රාජස්ථාන් රෝයල්ස්, කොල්කටා නයිට්රයිඩර්ස් සහ පන්ජාබ් කිංග්ස් යන කණ්ඩායම් අතරද ඉතා තියුණු තරගයක් පවතී. මේ වන විට ලක්නව් කණ්ඩායම ලකුණු 13 කට හිමිකම් කියන අතර සෙසු කණ්ඩායම් 4 ම ලකුණු 12 සීමාවේ රැදී සිටිති.

මූලික වටය අවසන් වීම සඳහා තවත් තරග 8 ක් ඉතිරිව ඇති අතර එම තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් 4 අවසන් වටයට සුදුසුකම් ලබනු ඇත. තරගාවලියේ අවසන් වටය සුදුසුකම් ලැබීමේ තරග 2 කින්, පරාජිතයන් ඉවත් කිරීමේ තරගයකින් සහ අවසන් මහ තරගයකින් සමන්විත වේ. 

-036 


අදහස් (0)

හයිද්‍රාබාද් පිලත් තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.