Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සුපුන් - ගයන්තිකා හෙට තරග බිමේ
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

සුපුන් - ගයන්තිකා හෙට තරග බිමේ

editorial - 2022 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

එංගලන්තයේ ‘බර්මින්හැම්’ නුවරදී හෙට (2 වැනිදා) ආරම්භ වන 22 වැනි පොදු රාජ්‍ය මණ්‍ඩලයීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා  ක්‍රීඩක සුපුන් අබේකෝන් මීටර 100 (පිරිමි) ඉසව්වේ මූලිකවටය සඳහා ද ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න මීටර් 800 (කාන්තා) ඉසව්වේ මූලික වටය සඳහා ද එදින තරග වැදීමට නියමිතය. ශ්‍රී ලංකා වේලාවෙන් සුපුන් අඟහරුවාදා පස්වරු 3.10 ට මීටර් 100 මූලික තරගයට සහභාගීවේ.

බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙ සඳහා ශ්‍රී ලංකාවෙන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හය දෙනෙක් සහභාගී වෙති.

පසුගිය ජූලි 15 වැනිදා ඇමරිකාවේදී පැවැති 18 වැනි ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර 100 (පිරිමි) මූලික වටයට තරග වැදී තත්පර 10.19 ක කාලයක් වාර්තා කළ සුපුන් එයින් පසුව තරග වදින පළමු ජාත්‍යන්තර තරගාවලිය මෙයයි.  ජූලි 3 වැනිදා ‘සුරිච්’ නුවරදී පැවැති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී පත්ත්පර 9.96 කට සිය වේගවත්ම කාලය වාර්තා කිරීමට සමත්වූ යුපුන් මේ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 23 වැනි ස්ථානයේ පසුවේ.

මෙම 27 හැවිරිදි ශ්‍රී ලාංකික ක්‍රීඩකයාගෙන් මෙවර පොදු රාජ්‍ය මණ්‍ඩලයීය තරගාවලියේදී පදක්කමක් කෙරෙහි වඩාත් විශ්වාසය තබා තිබේ. මෙම ඉසව්වට සහභාගී වන ධාවකයන් අතර මෙතෙක් හොඳම කාලය වාර්තා කර තිබෙන පළමු 10 දෙනා අතර සිටින සුපුන් ‘සුරිච්’ නුවරදී වාර්තා කළ තත්පර 9.96 ක කාලය හේතුවෙන් ඔහු මේ වන විටත් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත්ව සිටියි.

යුපුන්ගේ ‘ටෝකියෝ’ ඔලිම්පික් උලෙලේ (2020) මූලික වටයේ කාලය වූයේ තත්ත්පර 10.32 කි. ඔහු එහි තරගවැදුණු දිනය වූයේ 2021 ජූලි 31 වැනිදාය.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට පස්වරු 4.15 ට මීටර් 800 (කාන්තා) මූලික තරගයට සහභාගීවීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න සූදානම්ව සිටින්නිය. ඇයත් ඔරිගන් ප්‍රාන්තයේ ඉයුජින් නුවරදී පැවැති ලෝක ශූරතාවලියට සහභාගී වූ ක්‍රීඩිකාවකි. කෙසේවුවත් එහි මූලික වටයේ දී විනාඩි 2 තත්ත්පර 02.35 ක කාලයක් වාර්තා කළ ගයන්තිකා අවසන් පූර්ව වටයට පිවිසීමට අපොහොසත් වූවාය.

ගයන්තිකාගේ මෙම ඉසව්වේ හොඳම ධාවනය කාලය විනාඩි 2 තත්පර 01.44 ක් ලෙස සටහන් වී තිබේ. ලෝක ශූරතාවලියට ඇය අවස්ථාව ලබාගත්තේ මෙම ඉසව්වේ ඒ වන විට  හොඳම කාලය වාර්තා කර සිටි ක්‍රීඩිකාවන් 48 දෙනා අතරේ 46 වැනි ස්ථානය ලබමිනි.

නිලානි රත්නායකද ඉවුජින් ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියටද සහභාගී වූ  ක්‍රීඩිකාවකි. පසුගිය ජූලි 16 වැනිදා ලෝක ශූරතා තරගාවලියට තරග වැදුණු ඇය සිය ඉසව්වේ මූලික වටයේදී විනාඩි 9 තත්ත්පර 54.10 ක කාලයක් වාර්තා කළාය. එහෙත් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වූවාය. නිලානි ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව එම ඉසව්වේ 45 වැනි ස්ථානයේ පසු වූවාය.

පසුගිය අප්‍රේල් 9 වැනිදා දියගමදී පැවැති තේරීම්  තරගාවලියේදී ඇය මෙතෙක් ඉසව්වේ හොඳම කාලය වාර්තා කර තිබේ. ඒ විනාඩි 9 තත්ත්පර 40.24 කි.

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ  ක්‍රීඩක සුමේධ රණසිංහගේ ඉසව්වේ හොඳම දක්ෂතාව මීටර් 83.04 ක් වුවත් වසර 2015 න් පසුව එය රඳවා ගැනීමට ඔහු සමත්ව නැත. ඔහු 2019 කත්මන්ඩු සාෆ් ක්‍රීඩා උළෙලේ ඉසව්වේ ලෝකඩ පදක්කම් ලාභියායි. ඒ මීටර් 74.97 කටය. අවසන් වරට ජාත්‍යන්තර තරගාවලියකට ‘සුරිච්’ නුවරදී ජුනි 14 වැනිදා සහභාගී වූ සුමේධ රණසිංහගේ දක්ෂතා මීටර 74.55 ක් දක්වා අඩු වී තිබේ.

මීටර 400 (පිරිමි) ඉසව්වට බර්මින්හැම් නුවරදී තරගවදින කාලිංග කුමාරගේ තත්පර 45.88 ක මෙතෙක් සිය හොඳම වේගය වාර්තා කර ඇත්තේ මෙම වසරේ අප්‍රේල් 23 වැනිදා දියගම ධාවන පථයේදීය. කෙසේවුවත් ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරගය වන  ‘සුරිච්’ තරගාවලියේදී මීටර 400 වෙනුවෙන් ඔහුගේ කාලය තත්පර 46.36 කට සීමා විය.

දුර පැනීමේ ශ්‍රී ලංකා ජාතික ශූරිය වන සාරංගි ද සිල්වාගේ මෙතෙක් හොඳම පිම්ම මීටර 6.65 කි. ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබා සිටියත් අවසන් මොහොතේ ඉන් ඉවත් වූ සාරංගි,  දක්ෂතා ප්‍රවර්ධනය කර ගැනීමේ අපේක්ෂාවෙන් පසුගිය ජුනි 27 වැනිදා ‘සුරිච්’ නුවර  පැවැති ජාත්‍යන්තර තරගාවලියේදී පළ කළේ මීටර 6.23 ක දක්ෂතාවයකි.

1998 ක්වාලාලාම්පූර් නුවරදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී සුගත් තිලකරත්න මීටර 400 (පිරිමි) ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමත්, මීටර් 100 කඩුලු පැන දිවීමේ ඉසව්වෙන් ශ්‍රියානි කුලවංශ රිදී පදක්කමක්ද දිනා ගැනීමත් ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් දිනාගත් අවසන් පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් වෙයි. 1950 ඕක්ලන්ඩ් උලෙලේදී ඩන්කන් වයිට් යාර 440 කඩුළු (පිරිමි) ඉසව්වෙන් දිනාගත් රන් පදක්කම මෙතෙක් ක්‍රීඩා උලෙලේදී ශ්‍රී ලංකාව දිනාගත් එකම මලල ක්‍රීඩා රන් පදක්කම වේ.

 

බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්‍ඩලීය ක්‍රීඩා උළෙලට තරග වදින සෙසු ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ
කාලිංග කුමාරගේ (මීටර 400 පිරිමි)
සාරංගි ද සිල්වා (දුර පැනීම – කාන්තා)
තිළිනි රත්නායක (මීටර් 3000 – බාධක කාන්තා)
සුමේධ රණසිංහ (හෙල්ල විසිකිරීම – පිරිමි)


අදහස් (0)

සුපුන් - ගයන්තිකා හෙට තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.