Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සුපිරි වටය අරඹමින් ශ්‍රී ලංකාව අද තරග බිමේ
ආසියානු කුසලාන

සුපිරි වටය අරඹමින් ශ්‍රී ලංකාව අද තරග බිමේ

editorial - 2022 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ඩුබායි සිට..)

ඉන්දියාව, ඇෆ්ඝනිස්ථානය, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය තරග වදින මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටය අද (3 වැනිදා) ආරම්භ වේ. සුපිරි වටය ආරම්භ කරමින් ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව අද සාජා ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී තරග බිමට පිවිසෙනු ඇත. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිතය.

සුපිරි 4 දෙනාගේ වටයේදී යම් කණ්ඩායමක් සහභාගි වන තරග 3 න්ම ජය ලැබුවහොත් ඔවුන් නිසැකවම අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත. කෙසේ වුවත් කණ්ඩායමක් තරගයක් පරාජයට පත්වී තරග 2 ක් ජයගතහොත් ඔවුන්ට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා සෙසු කණ්ඩායම්වල ජය පරාජයන් දෙස බලා සිටීමට සිදුවනු ඇත.

සුපිරි වටයට ජයග්‍රාහී ආරම්භයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට මෙන්ම ඇෆ්ඝනිස්ථානයටද මෙම තරගයේ ජයග්‍රහණය වඩාත් වැදගත් වනු ඇත. තරගාවලියේ මූලික වටයේදී මෙම කණ්ඩායම් දෙක එකිනෙකාට එරෙහිව තරග වැදුණ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථානය සමත් විය. එහිදී ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 105 ක් පමණි.

මූලික වටයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගය ජයගැනීමෙන් අනතුරව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ කියා සිටියේ ඇෆ්ඝනිස්ථානය හමුවේ පෙර තරගයේදී සිදුවූ වැරදි නිවැරදි කරගනිමින් මෙම තරගයට සහභාගී වීමට තම කණ්ඩායම සූදානමින් සිටින බවය. ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නන්ට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් දැඩි අධ්‍යනයක නිරත වෙමින් සිටින බවද භානුක පැවසීය.

තරගයට පෙර දිනයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහයක පුහුණුකරු නවීඩ් නවාස් මහතා කියා සිටියේ ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමට ‍එරෙහිව ක්‍රීඩා කිරීම සඳහා කණ්ඩායමේ කලමණාකාරීත්වය වෙනස්ම සැලැස්මක් සකස් කොට ඇති බවත්, සෑම ක්‍රීඩකයකුම වගකීමකින් යුතුව තම තමන්ගේ කොටස හරි ආකාරව ඉටු කරන්නේ නම් තරගය ජය ගැනීමට අපහසු නොවන බවත්ය.

“සහභාගි වන හැම තරගයක්ම දිනන්න බලාගෙන තමයි අපි ක්‍රීඩා කරන්නෙ. හැම තරගෙකදිම වගේ මේ තරගයෙදි ක්‍රීඩා කරන්න ඕන සැලැස්මක් අපි හදලා තියෙනවා. ඒ නිසා ක්‍රීඩකයෝ හැමෝම තම තමන්ගේ උපරිමය දීලා සැලැස්මට අනුව ක්‍රීඩා කළොත් තරගයේ ප්‍රතිඵලය අපිට වාසි දායක වෙයි කියලා මට හිතෙනවා. යැයිද එහිදී නවාස් මහතා වැඩි දුරටත් කියා සිටියේය.

මෙම තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම එළබෙන 6 වැනිදා ඉන්දියාවට එරෙහිවද, 9 වැනිදා පාකිස්තානයට එරෙහිව ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගංණයේදී තරග වැදීමට නියමිතය. මූලික වටයේදී එක් තරගයක් පරාජයට පත්වුවද, තරගාවලියේ නීති රීතිවලට අනුව ‘බී’ කාණ්ඩයේ පළමුවැනියා ලෙස සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීමට හැකි වීමද මේ වන විට ශ්‍රී ලංකාවට අමතර වාසියකු බවට පත්ව තිබේ.

ඊට හේතුව ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වූවා නම් ශ්‍රී ලංකාවට එ‍ළබෙන 7 වැනිදා සහ 8 වැනිදා පිට පිටම පාකිස්තානයට සහ ඉන්දියාවට එරෙහිව තරග වැදීමට සිදුවීමය. කෙසේ වුවත් මේ වන විට එම අසීරු කාර්යය ‘බී’ කාණ්ඩායේ දෙවැනියා බවට පත්ව සිටින ඇෆ්ඝනිස්ථාන‍ය පිට පැවරී තිබේ. ‘බී’ කාණ්ඩයේ පළමු වැනියා වීම ‍හේතුවෙන් ශ්‍රී ලංකාවට සුපිරි වටයේදී සහභාගි වන සෑම තරගයක් අතරම දින 2 ක විවේක කාලයක් හිමිව තිබේ.

 

ශ්‍රී  ලංකා සංචිතය
දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, අෂේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, වනිඳු හරසංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න, දිල්ෂාන් මධුෂංක, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන්

ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම
මොහොමඩ් නබී (නායක), හස්රතුල්ලා සසායි, රහ්මතුල්ලා ගුර්බාස්, ඊබ්‍රහීම් සද්‍රාන්, කරීම් ජනාට්, නජිබුල්ලා සද්රාන්, රෂීඩ් ඛාන්, අස්මතුල්ලා ඔමර්සායි, නවීන් උල්හක්, මුජිබුර් රහමන් සහ ෆසාල්හක් ෆරූකි, ශමිවුල්ලා ශින්වාරි, හෂ්මතුල්ලා ශහිදි, අෆ්සර් සසායි, ෆරීඩ් අහමඩ් මලික්, උසාමාන් ඝානි සහ නූර් අහමඩ්

 


අදහස් (0)

සුපිරි වටය අරඹමින් ශ්‍රී ලංකාව අද තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.