Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.ආර්. ඉහළ නගිද්දී හැව්ලොක්ස් පසුබසී
රග්බි ලීගය

සී.ආර්. ඉහළ නගිද්දී හැව්ලොක්ස් පසුබසී

editorial - 2023 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හයවැනි සතිය අවසන් විට ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් වී තිබේ. සී.ආර් කණ්ඩායමේ ඉහළ නැගීමත් සමග හයවැනි සතිය ආරම්භ වන විට ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවූ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එහි තෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුව තිබේ. 

හයවැනි සතියේදී පැවැති තරගයවලදී නාවික හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 33-27 ක සටන්කාමී ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සමත් විය. එහෙත් හැව්ලොක්ස් කණ්ඩායමට එහිදී බලාපොරොත්තු නොවූ පරිදි පොලිස් කණ්ඩායම හමුවේ ලකුණු 21-19 ක තියුණු පරාජයක් අත්විදීමට සිදුවිය. 

මෙතෙක් සහභාගි වූ තරග 6 ම ජය ගෙන සිටින මහනුවර ක්‍රීඩා සමාජය, එහිදී ප්‍රසාද ලකුණු 3 ක්ද හිමිකරගෙන මුළු ලකුණු 33 ක් සමග තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගෙන සිටියි. කෙසේ වුවත් ගෙවී ගිය සතියේදී මහනුවර කණ්ඩායමට තියුණු සටනක් දුන් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය එම තරගය පරාජයට පත් වූයේ ලකුණු 27-25 ක් ලෙසිනි. 

මේ වන විට තරග 5 ක් ජයගෙන සිටින සී.ආර්. කණ්ඩායම ප්‍රසාද ලකුණු 4 ක්ද සමග මුළු ලකුණු 29 ක් ලබා මහනුවර කණ්ඩායමට වඩා ලකුණු 4 ක් පසුපසින් සිටියි. තරග 4 ක් ජයගෙන සිටින හැව්ලොක්ස් කණ්ඩායම, මහනුවර කණ්ඩායමට වඩා ලකුණු 8 ක් පසුපසින් සිටින්නේ කණ්ඩායම ප්‍රසාද ලකුණු 5 ක්ද සමග මුළු ලකුණු 25 ක් ලබාගනිමිනි. 

සහභාගි වූ තරග 6 න් 2 ක් පමණක් ජයගත්තද, එම තරග 6 දීම ප්‍රසාද ලකුණු හිමිකරගත් ගුවන් හමුදා කණ්ඩායම මුළු ලකුණු 16 ක් සමග ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ රැදී සිටියි. නාවික හමුදා කණ්ඩායමද තරග 2 ක් ජයගෙන සිටින නමුත් හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4 ක් බැවින් මුළු ලකුණු 14 ක් ලබා සිටින ඔවුන් ලකුණු සටහනේ 5 වැනි ස්ථානයට පත්ව තිබේ. 

සී.එච්. ඇන්ඩ් එෆ්.සී., පොලිස් සහ යුද හමුදා කණ්ඩායම් 3 ම ලකුණු 11 බැගින් ලබා සිටියද, සහභාගි වූ තරගවලදී රැස්කළ ලකුණු සහ ප්‍රතිවාදීන්ට ලබාදුන් ලකුණුවල පරතරය අනුව පිළිවෙලින් එම කණ්ඩායම්වලට ලකුණු සටහනේ 6, 7 සහ 8 වැනි ස්ථාන හිමිව තිබේ. තරගාවලියේ මූලික වටයේ අවසන් සතිය එළබෙන සිකුරාදා (27 වැනිදා) ආරම්භ වීමට නියමිතය. 

 


අදහස් (0)

සී.ආර්. ඉහළ නගිද්දී හැව්ලොක්ස් පසුබසී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.