Last Update  :  2026-02-18 23:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සිම්බාබ්වේ පිල සුපිරි 8 දෙනාගේ වටයට
විස්සයි-20 ලෝක කුසලාන

සිම්බාබ්වේ පිල සුපිරි 8 දෙනාගේ වටයට

editorial - 2026 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

විස්සයි-20 ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියේ 'බී' කාණ්ඩය යටතේ අයර්ලන්තය සහ සිම්බාබ්වේ ඊයේ (17 වැනිදා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ මූලික වටයේ තරගය දිගින් දිගටම ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් අතහැර විනිසුරුවෝ පියවර ගත්හ.

පස්වරු 2.30 ට තරගයේ කාසියේ වාසිය උරගා බැලීමටත් පස්වරු 3.00 ට තරගය ආරම්භ කිරීමට නියමිතව තිබුණද, වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට තරගය ආරම්භ කිරීමට නොහැකි විය. වර්ෂාව නතර වී‍ම හේතුවෙන් අවස්ථා කිහිපයකදීම ක්‍රීඩාංගණය පුරා අතුරා තිබූ ආවරණ ඉවත් කිරීමට පියවර ගත්තද, ඒ සෑම අවස්ථාවකදීම යළිත් වර්ෂාව ආරම්භ වීම හේතුවෙන් ඉවත් කෙරෙමින් තිබූ ආවරණ යළි ඇතිරීමට සිදුවිය.

අවසානයේ පස්වරු 5.30 ට තරගය අතහැර දමන බව නිවේදනය කිරීමත් සමග කණ්ඩායම් දෙකටම එක් ලකුණ බැගින් හිමිවූ අතර සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 5 කට හිමිකම් කියමින් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය. ඒ සමගම මූලික වටයේදී තරග 2 ක් පරාජයට පත්ව සිටි ඕස්ට්‍රේලියාවට සුපිරි 8 දෙනා‍ගේ වටයට පිවීසීම සඳහා තබා තිබූ අවසන් බලාපොරොත්තුවත් අත්හැර දැමීමට සිදුවිය.

2021 වසරේදී විස්සයි-20 ලෝක ශූරයන් බවට පත්වූ ඕස්ට්‍රේලියාව, එදාමෙදා තුර විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසයේ මෙතෙක් පැවැත්වී ඇති තරගාවලි 9 දී සුපිරි වටයට සුදුසුකම් නොළබාම ඉවතට විසි වූ දෙවැනි අවස්ථාව මෙය විය. මින් පෙර 2009 වසරේ එංගලන්තයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදීද ඔවුන්ට මෙම ඉරණමම අත්වී තිබිණ.  

සිම්බාබ්වේ කණ්ඩායමත් සමග මේ වන විට කණ්ඩායම් 7 ක් ‍සුපිරි 8 දෙනාගේ වටයේ ස්ථාන හිමිකරගෙන සිටින අතර ඊට එක්වන අවසන් කණ්ඩායම ඇමරිකාවද, පාකිස්ථානයද යන වග අද (18 වැනිදා) තීරණය වනු ඇත. ඉන්දියාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ‍ඇති සෙසු කණ්ඩායම් වේ.  


අදහස් (0)

සිම්බාබ්වේ පිල සුපිරි 8 දෙනාගේ වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.