Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සිඩ්නි පිටියේදී වෙනස් සැලසුමක්
ශ්‍රී ලංකා - නවසීලන්ත පූර්විකාව

සිඩ්නි පිටියේදී වෙනස් සැලසුමක්

editorial - 2022 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

විස්සයි-20 ලෝක කුසලන තරගාවලිය සඳහා මුලින්ම තෝරාගන්නා ලද වේග පන්දු යවන්නන් අතුරින් තිදෙනෙක්ම තුවාල ලැබූහ. ආදේශකයකු වූ බිනුර ප්‍රනාන්දුත් තරගාවලියෙන් ඉවත්වීමත් සමගම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවතට ගිය වේග පන්දු යවන්නන් සංඛ්‍යාව 3 කි.

සත්‍ය තත්ත්වය එයම වූවත්, ඊයේ (27 වැනිදා) පාකිස්තානය පරාජය කරමින් සිම්බාබ්වේ පිල ජයගත් තරගය දක්වාම පැවැති වේග පන්දු යවන්නන්ගේ දත්ත සැලකිල්ලට ගැනීමේදී පැයට කිලෝ මීටර 140 ඉක්මවමින් වැඩිම පන්දු ප්‍රතිශතයත් වාර්තා කළ කණ්ඩායම් අතරේ දෙවැනි තැන ගන්නේ ශ්‍රී ලංකාවයි.

ලෝක කුසලාන තරගාවලියේ තරග 24 ක් නිමාවේදී, පැයට කිලෝ මීටර 140 ඉක්මවූ පන්දු වැඩිම ප්‍රතිශතයක් (43%) වාර්තා කර ඇත්තේ පාකිස්තානයයි. එහි දෙවැනි ස්ථානය (18%) හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටය. වේග පන්දුවෙන් ලෝකය දිග්විජය කළ එංගලන්තය (17%), ඕස්ට්‍රේලියාව (14%) මෙන්ම නවසීලන්තයත් (11%) ශ්‍රී ලංකාවට වඩා පසුපසින් සිටිති.

පැයට කිලෝ මීටර 140 ඉක්මවන වේගයක් යනු ක්‍රිකට් නායකයකුට ඇති අතිරේක වාසියකි. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට තිබූ විශාලතම ශක්තියත් එයම විය. එනම්, කණ්ඩායමට ඇතුළත්ව සිටි වේග පන්දු යවන්නන් පස් දෙනාගෙන් තිදෙනකුටම එම හැකියාව තිබීමයි. එහෙත් දැන් යාමට සිදුව ඇත්තේ වෙනස් මාවතක වෙනත් ගමනකි.
කෙසේ වෙතත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තාක්‍ෂණික කමිටුවේ අනුමැතිය ඇතිව, අසිත ප්‍රනාන්දු කණ්ඩායමට එක්වී සිටීමත්, ප්‍රමෝද් මධුෂාන් නැවතත් අපේක්‍ෂිත ශාරීරික යෝග්‍යතාවට පැමිණ සිටින බවත් නායක දසුන් ශානකට තරමක් සැනසීම ගෙන දෙන ආරංචියකි.

සුදුසුකම් තේරීමේ කඩයිම පැනගත් ශ්‍රී ලංකා කණ්ඩායම දැන් පිවිස සිටින්නේ වඩාත් තීරණාත්මක අදියරටය. මෙම අදියරේ කඩයිම පැනගැනීමට නම් ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළම කණ්ඩායම් දෙකට ඇතුළත් විය යුතුය. අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරගැනීම සඳහා ඇත්තේ තියුණු තරගයකි. වර්ෂාවත් දිගින් දිගටම බාධා කරන බැවින්, ඒ සඳහා ඇති බලපෑම විශාලය.

අයර්ලන්තය සහ ඇෆ්ඝනිස්ථානය අතර අද පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාවට සේදී යාමේ අතිරේක ප්‍රතිඵලයක් වූයේ එතෙක් වේලා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි ස්ථානයට ඇද වැටීමයි. එංගලන්ත - ඕස්ට්‍රේලියා තරගය වැස්සට සේදීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයට ඇද වැටිණ.

එබැවින් තරගයක් ජයගැනීම විනා වර්ෂාවේ පිහිට සෙවීම විනාශය ප්‍රාර්ථනා කිරීමකි. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ආකෘතිය අනුව, 12 දෙනාගේ වටයේදී තරග දෙකක් පරාජය වීම අවදානම් කලාපයට පිවිසීමකි.

I වැනි කාණ්ඩයේ කෙරුම්කාරයන් වන ඕස්ට්‍රේලියාව (ලෝක කුසලානයේ වත්මත් හිමිකරුවන්) මෙන්ම එංගලන්තයත් දැනටමත් තරගයක් බැගින් පරාජය වී සිටිති. ශ්‍රී ලංකාවද ඕස්ට්‍රේලියානු පිල හමුවේ පරාජය වී සිටින බැවින්, අවසන් පූර්ව තරගය කෙරේ බලාපොරොත්තු තබාගැනීමට නම් හෙට තරගය ජයගැනීම තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබේ.

සිඩ්නි ක්‍රීඩාංගණය, අනාදිමත් කාලයක් තිස්සේ, දඟ පන්දු යවන්නන්ට ආධාර උපකාර කිරීමට නම්දැරූ ක්‍රීඩාංගණයකි. එහෙත් ඒ ඕස්ට්‍රේලියානු ගිම්හානයේ හරිමැද වන ජනවාරියේදී මිස ඔක්තෝබරයේදී නම් නොවේ. එබැවින් දඟ පන්දු යවන්නන් ගැන කතාකිරීම පැත්තක තබා තරගය ජයගන්නා වෙනත් ආකාරයක් ගැන ශ්‍රී ලංකා කණ්ඩායම අවධානය යොමුකර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතාගේ අදහස් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දැනට අවධානය යොමුකර ඇත්තේ නවසීලන්තයට එරෙහිව ලකුණු 170 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාගැනීම කෙරෙහිය. ඇරත් ‘සිඩ්නි’ යනු පිතිකරුවන් සඳහා මෙම තරගාවලියේ මෙතෙක් දක්නට ලැබුණු හොඳම තණතීරුව ද වෙයි.

“නවසීලන්තය කියන්නේ (වර්තමානයේදී) ඉතාමත් හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක නිරත වන කණ්ඩායමක්. අපි ඔවුන්ව බොහෝ ඉහළින් තියලා තියෙන්නේ”

“අපි ඉන්න කාණ්ඩයේ සිටින ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය හා ඇෆ්ඝනස්ථානය වගේ කණ්ඩායම් දිහා බැලුවාම, මේ කිසිම තරගයක් සැහැල්ලුවෙන් ගන්න බෑ. ඒ හින්දා අපි ඒකට සූදානම් වෙලා ඉන්නේ... අවසන් පූර්ව වටයට යන්න නම් කරන්න ඕනෑ මොනවාද කියලා අපි හොඳින්ම දන්නවා” යයි නවීඩ් නවාස් මහතා අද පැවැති පුවත් පත් සාකච්ඡාවකදී පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසනීයත්වය වැඩිකරන කාරණයක් වන්නේ ඉදිරිපෙළ පිතිකරුවන් ලකුණු අතර සිටීමයි.

සුදුසුකම් තේරීමේ වටයේදී නැමීබියාවට එරෙහිව ලකුණු 108 කට දැවීගිය නමුත්, එදායින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම කිසිම තරගයකදී සම්පූර්ණයෙන්ම දැවී ගියේ නැත. මැදපෙළට පසුව එන පිතිකරුවන්ටත් අවස්ථාව නොලැබුණ තරම්ය. එහෙත් අංක 8 පිතිකරුවා වන වනිඳු හසරංග, කණ්ඩායමේ පුහුණුවීම් අවසන් වීමෙන් පසුවත්, සිඩ්නි පිටියේ පුහුණු දැළ තුළදී ‘රිවර්ස් ස්විප්’ පහර පුහුණුවෙමින් සිටියේය.

කණ්ඩායමේ ක්‍රීඩකයන් හය දෙනකුම විවිධ ශාරීරික ආබාධවලට ලක්වූවත්, නැමීබියානු තරගයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ජයගත්තේය. ඒ සෑම ජයග්‍රහණයක්ම, ලෝකය පුරාම සිටින ශ්‍රී ලාංකිකයන්ට මතක හිටින ජයග්‍රහණයන් ද වූයේය. ක්‍රීඩකයන් විවිධ ආබාධයන්ට ලක්වීම පාලනය කළ හැකි දෙයක් නොවූවත්, නැවත එක්වී තරගයක් ජයගැනීම කළ හැක්කකි.

“ඕස්ට්‍රේලියාවත් එක්ක තිබුණ තරගයේ පරාජයෙන් අපි ගන්න ඕන දේ තමයි අපි නැවත වතාවක් එකට එකතු වෙලා, ඊළඟ තරගය දිනන්න ඕන කියන එක” ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා කියයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගි වී ඇති විස්සයි-20 අන්තර්ජාතික තරග 170 න් නවසීලන්තයට එරෙහි තරග 19 කි. ඒවායින් තරග 7 ක් ජයගෙන සිටින ශ්‍රී ලංකාව තරග 10 ක් පරාජය වී තිබේ.

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේ අවසන් වි-20 තරගය වාර්තා වන්නේ වසර තුනකට ඉහත පල්ලෙකැළේදීය. දැන් සිටින්නේ වසර තුනකට ඉහතදී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම නොවේ. ඊට වඩා බෙහෙවින් සමබර මෙන්ම ශක්තිමත් කණ්ඩායමකි.

පැතුම් නිස්සංක ආබාධයකට ලක්වූ හෙයින් එතැනට පැමිණි ධනංජය ද සිල්වා කිසිම අඩුපාඩුවක් නැතිව තමන්ට බාරවූ කාර්යය හමාර කළේය. ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී පැතුම් නිස්සංකට යළි ස්ථානය හිමිවූයේ කලින් තරගයේදී ධනංජය අසාර්ථක වීම නිසා නොව, ‘ආබාධයකට ලක්වන ක්‍රීඩකයා නැවතත් කණ්ඩායමට පැමිණීමේදී ඔහුගේ ස්ථානය දිය යුතුය’ යන කණ්ඩායමේ ප්‍රතිපත්තිය අනුවය.

එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය විය නොහැකිවාක් මෙන්ම ක්‍රීඩකයන්ට ද අසාර්ථක විය නොහැකිය. කිනම් ක්‍රීඩකයා කාගේ ස්ථානය පැහැරගනීවිද යන්න කිසිවකුට කිව නොහැකිය. එය අසාධාරණද නොවේ.

“කණ්ඩායමේ හැම දෙනෙක්ම ලොකු හැඟීමකින් ඉන්නේ. හැම කෙනෙක්ම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ අවසන් පූර්ව තරගයට එන්න. ඒක හින්දා මේක කාගේ හරි අලුතින් එන කෙනෙකුගේ අවස්ථාව වෙන්නත් පුළුවන්”

“අනෙක මේ සිඩ්නි ක්‍රීඩාංගණයේදී පිතිකරුවන්ට ඕන තරම් ලකුණු තියෙනවා. මේක එදා ඉඳලාම අපට (ශ්‍රී ලංකාවට) ටිකක් වාසිදායක ක්‍රීඩාංගණයක්. මෙතනදී පන්දුව හතරේ සීමාවට ගලායාමත් ඉතාමත් වේගවත්. ඒ නිසා අපට ටිකක් වෙනස් ආකාරයේ සැලසුමක් යොදාගෙන මේ තරගයට යන්න වෙනවා කියන එක අපි හැමෝම දන්නවා” යයි ද නවීඩ් නවාස් මහතා පැවසීය.

නවසීලන්තයේ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා වන ටිම් සවුති සහ ටේ‍රන්ට් බෝල්ට් දෙදෙනා 19 න් පහළ වයස් කාණ්ඩයේ සිට, වසර 10 ක පමණ කාලයක්, එක්ව පන්දු යවන දෙදෙනෙකි. වමත් - දකුණත් සුසංයෝගයක් වන මේ දෙදෙනාගෙන් ඕනෑම කණ්ඩායමකට එල්ල වන තර්ජනයත් සුළුපටු නොවේ.

“ශ්‍රී ලංකාව කියන්නේ ටිකක් භයානක කණ්ඩායමක්. ඒගොල්ලන් හැමදාමත් විශාල තර්ජනයක් වෙලා ඉන්නවා විතරක් නෙමේ, දඟ පන්දු යැවීම, එයාලගේ ක්‍රීඩාවේ ලොකු කොටසක්.... ඒත් අපි දන්නේ නෑ මේ තණතීරුව දඟ පන්දු යවන්නන් හමුවේ කොහොම හැසිරේවිද කියලා... ඒ හින්දා මේක ලොකු තරගයක්”

“අනෙක ඕස්ට්‍රේලියාව එක්ක වගේ නෙමේ. ශ්‍රී ලංකාවත් එක්ක සෙල්ලම් කරනවා කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්” යයි ද ටිම් සවුති අද පැවැති පුවත් පත් සාකච්ඡාවේදී කීවේය.

නවසීලන්තය සිටින්නේ ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණේ බැවින් ඔවුනට දැනෙන පීඩනය අඩුය. එම කාසියේම අනෙක් පැත්ත වන්නේ නවසීලන්තයත් එක තරගයක් හෝ පරාජය වුවහොත්, ඔවුන්ද එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව දැනට වැටී සිටින ලෑල්ලට ඇද වැටෙන බවයි.

මෙම තත්ත්වය අනුව හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා - නවසීලන්ත තරගය දෙපිලටම අතුරේ යාමකි. 


අදහස් (0)

සිඩ්නි පිටියේදී වෙනස් සැලසුමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.