එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ මිඞ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම සහ සරේ ප්‍රාන්ත කණ්ඩායම අතර ලන්ඩන් නුවර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (19 වැනිදා) ආරම්භ වූ සිවුදින තරගයේදී කුමාර් සංගක්කාර (නොදැවී 113) ලබාගත් අලංකාර ශතකය නිසා සරේ ප්‍රාන්ත පිල දිනය අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 265 ක් ලබා සිටියේය.
සංගක්කාර මෙම ශතකය ලබාගත්තේ දින කිහිපයකට ඉහත ලෝඞ්ස් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ක්‍රීඩාගාරයේදී සවිකළ තමන්ගේම ආලේඛයක් (පුද්ගලයකුගේ උඩුකය සිතුවමක්) පසුකරමින් පිටියට පිවිසෙමිනි. මෙම ආලේඛය පළමු වරට ප්‍රදර්ශනය කරන ලද්දේ මිඞ්ල්සෙක්ස් - සරේ තරගය ආරම්භ වූ ඊයේය.
කාසියේ වාසිය අහිමි වීම නිසා පළමුවෙන් පන්දුවට පහර දීමට සිදුවූ සරේ ප්‍රාන්ත කණ්ඩායම වරෙක කිසිවකු නොදැවී ලකුණු 55 ක් ලබා සිටියද ලකුණු 28 ක් ඇතුළත පිතිකරුවන් තිදෙනකු දැවී යාම හේතුවෙන් ලකුණු පුවරුව 83 කට කඩුලු 3 ක් සේ දිස්විය. මෙම අවස්ථාවේදී ඩොමිනික් සිබ්ලි (54) සමග එක්වූ සංගක්කාර මුලු ලකුණු සංඛ්‍යාව 197 දක්වා ඉහළ දැම්මේ ලකුණු 114 ක සම්බන්ධතාවක් පවත්වමිනි.
මිඞ්ල්සෙක්ස් පිලේ ටොබී රෝලන්ඞ් ජෝන්ස් අහුළාගත් පන්දුව පන්දු යවන්නාගේ අන්තයට යැවූයේ නම් සංගක්කාර ලකුණු 24 දී දුවද්දී දැවී යාමටත් ඉඩ තිබිණ. එහෙත් මිඞ්ල්සෙක්ස් පන්දු රකින්නාට අවශ්‍ය වූයේ තවමත් 21 හැවිරිදි පිතිකරුවකු වන සිබ්ලි දවාගැනීමයි. ටෙස්ට් තරග 134 ක් ක්‍රීඩා කරමින් අන්තර්ජාතික ලකුණු 28,000 ක් පමණ ලබාගත් පරිණත පිතිකරුවකුට අවස්ථාව දීමේ වන්දිය මිඞ්ල්සෙක්ස් ක්‍රීඩකයන් විසින් ගෙවා දමන ලද්දේ ඔහුගේ පිතිහරඹයට ඉඩදී බලා සිටීමෙනි.
දිවා ආහාරයෙන් පසුව ලෝඞ්ස් පිටියේ තිබුණේ සංගක්කාරගේ සංදර්ශනයකි. සන්සුන් පිතිහරඹයක යෙදුණ මෙම පරිණත වමත් පිතිකරුවා පන්දු 151 කදී සිය ශතකය සම්පූර්ණ කරමින් අලංකාර කවර් ඩ්‍රයිව්, පුල්, ෆ්ලික් සහ ලොෆ්ටඞ් ඕන් ඩ්‍රයිව් පහර රැසකින්ම සිය ඉනිම සැරසීය. ඔලී රේනාර්ගේ පිට පිට පන්දු දෙකකදී ගැසූ පුල් පහර දෙකකින් පන්දුව නරඹන්නන් අතරට යැවූ සංගක්කාර සිය ඉනිමට හතරේ පහර 11 ක් එක් කළේ තරගයේ දෙවැනි දිනය වන අදත් (20 වැනිදා) පන්දුවට පහර දීම සඳහා සිය කඩුල්ල රැකගනිමිනි.
සංගක්කාර මෙවර එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරග වාරයේදී ලබාගත් තෙවැනි ශතකය මෙයයි. ඉන් පළමුවැන්න (136) ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව පළමු පෙළ තරගයකදීද, දෙවැන්න (124) හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව රෝයල් ලන්ඩන් කුසලාන එක්දින තරගයකදීද ලබාගෙන තිබේ.
සරේ ප්‍රාන්ත කණ්ඩායම පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 265
(රෝරි බර්න්ස් 33, මාර්ක් ස්ටොනෙමන් 33, කුමාර් සංගක්කාර නොදැවී 113, ඩොමිනික් සිබ්ලි 54, බෙන් ෆෝක්ස් 19, ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් 38/2, ස්ටීවන් ෆින් 65/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.