‘රෝයල් ලන්ඩන්’ කුසලාන එක්දින තරගාවලියේ යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව ඊයේ (13 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී සරේ ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ලබාගත් ශතකයත් (121) සමගින් ප්‍රධාන පෙළේ තරගවලදී ශතක 100 ක් ලබාගැනීමට කුමාර් සංගක්කාර සමත් විය.
සංගක්කාරගේ ශතක 100 ට පළමු පෙළ ශතක 61 ක් සහ ඒ කාණ්ඩයේ එක්දින ශතක 39 ක් අන්තර්ගත වේ. එම පළමු පෙළ ශතට 61 ට ටෙස්ට් ශතක 38 ක් ඇතුළත් වන අතර ඒ කාණ්ඩයේ එක්දින ශතක 39 ට එක්දින ජාත්‍යන්තර ශතක 25 ක්ද ඇතුළත් වී තිබේ.
2014 වසරේදී බංග්ලාදේශයට එරෙහිව චිතගොංහිදී රැස්කළ ලකුණු 319 සංගක්කාරගේ හොඳම ටෙස්ට් ඉනිම වන අතර 2013 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී රැස්කළ ලකුණු 169 ඔහුගේ හොඳම එක්දින ඉනිම වේ.
මේ දක්වා පළමු පෙළ තරග 256 කට (ටෙස්ට් තරග 134 ද සමග) සහභාගි වී ඇති සංගක්කාර ක්‍රීඩා කර තිබෙන ඒ කාණ්ඩයේ එක්දින තරග සංඛ්‍යාව 526 (එක්දින ජාත්‍යන්තර තරග 404 ද සමග) කි.
සංගක්කාර ඊයේ යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව ලබාගත් ශතකය පන්දු 121 කදී වාර්තා වූ අතර එය හයේ පහර 4 කින් සහ හතරේ පහර 9 කින් සමන්විත විය. සංගක්කාරගේ ශතකය නිසා සරේ ප්‍රාන්ත කණ්ඩායමට එම තරගයෙන් ලකුණු 24 ක ජයක් හිමිවූ අතර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමටද හැකි විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් සරේ ප්‍රාන්ත කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 313 ක් ලබාගත් අතර බෙන් ෆොක්ස් (86) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 169 කදී ලකුණු 180 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගූ සංගක්කාර, සරේ ප්‍රාන්ත ඉනිමේ කොඳුනාරටිය බවට පත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 314 ක ඉලක්කයක් හඹාගිය යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ 289 ක් පමණි. එහිදී රවී රාම්පාල් ලකුණු 54 කට කඩුලු 3 ක් දවාගනිමින් සරේ ප්‍රාන්ත කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළ අතර ජේඞ් ඩර්න්බැච් සහ ටොම් කරන් කඩුලු 2 බැගින් දවාගනිමින් ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන්හ.
සරේ ප්‍රාන්ත පිල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 313
(ස්කොට් බෝත්වික් 36, කුමාර් සංගක්කාර 121, බෙන් ෆෝක්ස් 86, ඔලී පොප් 37, සෑම් කරන් 19, අසීම් රාෆික් 51/3)
යෝක්ෂයර් ප්‍රාන්ත පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 289
(ඇඩම් ලීත් 75, ජැක් ලීනිං 42, පීටර් හෑන්ස්ඞ්කොම්බ් 60, ගැරී බැලන්ස් 36, මැතිව් වයිට් 34, රවී රාම්පාල් 54/3, ටොම් කරන් 45/2, ජේඞ් ඩර්න්බැච් 53/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.