ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගෙන වසර දෙකක් ගෙවී ගියද පළමු පෙළ පිතිකරුවකු වශයෙන් තවමත් විශිෂ්ට දස්කම් දක්වමින් සිටින කුමාර් සංගක්කාර පළමු පෙළ ලකුණු 20,000 පසුකර ගිය පළමුවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා වශයෙන් ඉතිහාසයට එක්විය. එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී සරේ පිල වෙනුවෙන් ක්‍රීඩා කරන සංගක්කාර මිඞ්ල්සෙක්ස් පිලට එරෙහිව ලෝඞ්ස් පිටියේදී පැවැත්වෙන තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 108 ක් ලබාගැනීමත් සමගම ලකුණු 20,000 කඩයිම පසුකර ගියේය.
ශ්‍රී ලංකාවේ පිතිකරුවන් අතුරින් පළමු පෙළ ලකුණු 15,000 කඩයිම පසුකර ඇත්තේ කුමාර් සංගක්කාර (20,012), මහේල ජයවර්ධන (17,838), තිලාන් සමරවීර (15,501) සහ අරවින්ද ද සිල්වා (15,000) පමණි. සනත් ජයසූරිය සිය තරග දිවිය අවසන් කරන විට පළමු පෙළ ලකුණු 14,819 ක් ලබා සිටියේය.
ලෝඞ්ස් පිටියේදී එක ශතකයකින් සෑහීමට පත්නොවූ කුමාර් සංගක්කාර මිඞ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ දෙවැනි ඉනිමේදීත් සරේ ප්‍රාන්තය වෙනුවෙන් ශතකයක් ලබාගනිමින් අතිශය විරළ වාර්තාවකට හිමිකම් කීවේය. පළමු ඉනිමේදී අගනා ලකණු 114 ක් ලබාගත් සංගක්කාර දෙවැනි ඉනිමේදී ලකුණු 120 ක් තම පිල වෙනුවෙන් ලබාගත්තේය.
ලෝඞ්ස් ක්‍රීඩාංගණයේ හිමිකරුවන් වන මිඞ්ල්සෙක්ස් පිලට එරෙහිව සංගක්කාර මෙම ශතක යුගළය ලබාගත්තේ ඔහුගේ ආලේඛයක් (උඩුකය සිතුවමක්) ලෝඞ්ස් ක්‍රීඩාගාරයේ සවිකිරීමෙන් දින කිහිපයකට පසුවය.
සරේ පිල මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 313 න් 114 ක හිමිකරුවා වූ සංගක්කාර සරේ පිල සිය දෙවැනි ඉනිමේදී ලබාගත් ලකුණු 339 ට ලකුණු 120 කින් දායක විය. සංගක්කාර ඉනිම දෙකේදීම ලබාගත් ශතක වලට ස්තුති වන්නට මිඞ්ල්සෙක්ස් පිල පීඩනයට ලක්කළ සරේ ක්‍රීඩකයෝ තරගයෙන් ජයගැනීම සඳහා ඕවර 39 කදී ලකුණු 242 ක් ලබාගන්නා ලෙෂ මිඞ්ල්සෙක්ස් පිලට අභියෝග කළහ.
මෙම ශතකය සංගක්කාර මෙවර ප්‍රාන්ත තරගාවලියේදී සරේ පිල වෙනුවෙන් ලබාගත් සිවුවැනි ශතකයයි. ඔහුගේ ශතක 4 න් තුනක් පළමු පෙළ ශතක වන අතර සංගක්කර ඉරිදා ලබාගත්තේ ඔහුගේ 60 වැනි පළමු පෙළ ශතකයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.