Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ රනින් බැබළෙති

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ රනින් බැබළෙති

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ විස්සයි20 ක‍්‍රිකට් පිරිමි තරගාවලියේ රන් පදක්කම දිනා ගමිනින් ශ‍්‍රී ලංකාවට වසර 12 කට පසුව ආසියානු ක‍්‍රීඩා රන් පදක්කමක් ගෙන ඒමට අද (03) සමත් වූහ.

ඉංචියොන් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ පස්වරුවේ පැවැති රන් පදක්කම සදහා වූ අවසන් මහ තරගයේදී ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පිල ලකුණු 68 කින් ඇෆ්ගනිස්තානය පරාජය කළේය.  

ශ‍්‍රී ලංකාව අවසන් වරට 2002 වසරේ බූසාන් නුවරදී පැවැති XVII ආසියානු ක‍්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දෙකක් දිනාගත් අතර ඉන් පසුව රන් පදක්කම් දිනා නැත. එහිදී සුසන්තිකා ජයසිංහ (මීටර 100) සහ දමයන්ති දර්ශා (මීටර 400) රන් පදක්කම් දෙක දිනාගත්හ.

කටාර් රාජ්‍යයේදී 2006 වසරේ පැවැති XVII ආසියානු ක‍්‍රීඩා උළෙලේදී මීටර 100 ඉසව්වෙන් සුසන්තිකා ජයසිංහ දිනාගත් රිදී පදක්කම ඊයේ පස්වරුව දක්වා ආසන්නතම ඉහළතම පදක්කම බවට පත්ව තිබුණි. 2010 වසරේ චීනයේ ගුවැන්ෂුහිදී පැවැති XVII ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකාව කිසිදු පදක්කමක් දිනා ගැනීමට අපොහොසත් විය.

මෙම පදක්කම ශ‍්‍රී ලංකාව මෙම අසියානු ක‍්‍රීඩා උළෙලේදී දිනූ දෙවැනි පදක්කම වන අතර කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය. මෙම පදක්කමත් සමග ශ‍්‍රී ලංකාව පදක්කම් සටහනේ 27 වැනි ස්ථානයට පත්විය.

ලකුණු 134 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තානු පිල  ඕවර 17.4 කදී ලකුණු 65 කට සීමා කිරීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ජීවන් මෙන්ඩිස් අනගි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 13 කට කඩුලූ 3 ක් දවා ගනිමින් රන් පදක්කම ශ‍්‍රී ලංකාවට ඉතාමත් ඉනිමනින් සමීප පකළේය.

ඇෆ්ගනිස්තානු ආරම්භ පිතිකරුවන් තෙවැනි  ඕවරය අවසන් වන විට ලකුණු 20 ක් රැස්කර සිටි අතර ඉසුරු උදාන සහ චතුර ද සිල්වා  ඕවර තුනකදී ලකුණකට කඩුලූ 3 ක් දවා ගනිමින් අඩපණ කිරීමට සමත් වූහ.

ඉසුරු උදාන දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින්  ඕවර 3 කදී නිලකුණු  ඕවර 2 ක් සමගින් ලකුණකට කඩුලූ 2 ක් දවා ගත්තේය. චතුරංග ද සිල්වා (20/2), දිල්හාර ලොකුහෙට්ටිගේ (14/1) සහ අලංකාර අසංක (15/1) ශ‍්‍රී ලංකා ජයග‍්‍රහණයේ දැවැන්ත කොටස්කරුවෝ බවට පත්වූහ.     

පළමු පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස මුඵ ලකුණු 7 ක්ව තිබියදී උපුල් තරංග (01) දැවී යෑමෙන් පසුව ළහිරු තිරිමාන්න (57) සහ දිනේෂ් චන්දිමාල් (33) දෙවැනි කඩුල්ලට පන්දු 54 කදී ලකුණු 72 ක සම්බන්ධතාවක් පවත්වමින් ශක්තිමත් අඩිතාලමක් දැමූහ.

තිරිමාන්න පන්දු 37 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 57 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. චන්දිමාල් පන්දු 27 කදී රැස්කළ ලකුණු 33 ට හතරේ පහර 3 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

තිරිමාන්න සහ චන්දිමාල් හැරෙන්නට සෙසු සියලූම පිතිකරුවන් අසාර්ථක වීමෙන් ශ‍්‍රී ලංකා ඉනිම  ඕවර 19.1 කදී ලකුණු 133 කට සීමා විය.

ශ‍්‍රී ලංකා පිලේ නායක ළහිරු තිරිමාන්න පදක්කම් ප‍්‍රදානයෙන් පසුව පැවසුවේ වසර 12 කට පසුව ශ‍්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන යෑමට ලැබීම පිළිබදව නායකයා ලෙස තමන් කණ්ඩායමේ දස්කම් පිළිබදව සතුටු වන බවයි.

”අත්තටම කිව්වොත් මේ තණතීරුවේ ලකුණු 133 රැස්කළාට පසුව අපි දැනගෙන හිටියා ඇෆ්ගනිස්තාන් පිතිකරුවන් නවත්වන්න පුඵවන් බව. මේ තණතීරුවේ පළමු ඕවර 10 යේදී හැකි උපරිම ලකුණු ලබාගත යුතුයි. ඒ නිසා අපි සැළසුම්කර තිබුතේ ලකුණු 130 ත් 150 ත් අතර සංඛ්‍යාවක් රැස් කිරීමටයි. පන්දු යවන්නන් විශිෂ්ට ලෙස පන්දු යවමින් ජයග‍්‍රහණය පසු කළා”

ශ‍්‍රී ලංකා පිලේ පුහුණුකරු රොමේෂ් කඵවිතාරණ මහතා පැවසුවේ තමන් මුල සිටම රන් පදක්කම සදහා කණ්ඩායම සකස් කළ බවත් එම ඉලක්කය සම්පූර්ණ කිරීමට හැකිවීම පිළිබදව සතුටු වන බවත්ය.  

ළහිරු තිරිමාන්න පිට පිටම තෙවැනි වරටත් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඉංචියොන් නුවර එකම ක‍්‍රීඩා ගම්මානයක් බවට පත්කරමින් පුරාදින 16 ක් පැවැති XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙල අද (04) පස්වරුවේ පැවැත්වෙන සමාප්ති උත්සවයත් සමග අවසන් වේ.


සාරාංශ ලකුණු පුවරුව

ශ‍්‍රී ලංකා පිල  ඕවර 19.1 කදී සියලූ දෙනා දැවී 133 (දිනේෂ් චන්දිමාල් 33, ළහිරු තිරිමාන්න 57, දිල්හාර ලොකුහෙට්ටිගේ 11, මොහොමඞ් නබි 18/4, ගුල්බදින් නයිබ් 16/2)

ඇෆ්ගනිස්තානු පිල  ඕවර 17.4 කදී 65 (නජීබ් තරකායි 17, ඉසුරු උදාන 1/2, ජීවන් මෙන්ඩිස් 13/3)


අදහස් (0)

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ රනින් බැබළෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.