Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය 13 දා සිට

ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය 13 දා සිට

editorial - 2022 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර තුනකට පසුව ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය පණ ගන්වමින් 2022 තරගාවලිය ලබන මැයි 13 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය කටයුතු යොදා තිබේ. එහිදී සහභාගි වන සියලු කණ්ඩායම් සඳහා රුපියල් ලක්ෂ 25 ක් බැගින් වියදම් ලබාදීමට ද කටයුතු කෙරේ.

ශ්‍රී ලංකාවේ නමගිය පාපන්දු ක්‍රීඩා සමාජ 18ක් ගැටුණු මෙම ලීග් තරගාවලිය අවසන් වරට 2018 වසරේදී පවත්වා තිබේ. 2019 පෙබරවාරි මාසයේදී පවත්වා අවසන් කළ එහි ශූරතාව හිමිකර ගත්තේ ‘ඩිෆෙන්ඩර්ස්’ හෙවත් යුද හමුදා ක්‍රීඩා සමාජයයි.

මෙවර තරගාවලියේ සහභාගීත්වය කණ්ඩායම් 14 කට සීමා වන අතර 2018 තරගාවලියේදී ශූරතාව දිනාගත් ‘ඩිෆෙන්ඩර්ස්’ ඇතුළු ප්‍රසාද ලකුණු සටහනේ 10 වැනි ස්ථානය දක්වා පැමිණි කණ්ඩායම් ඉවත්ව යාමෙන් ඉතිරි වන කණ්ඩායම් අටක් හා පළමු පෙළ තරගාවලියේ ඉදිරියට පැමිණි කණ්ඩායම් හයක් මෙවර තරගාවලියට නිර්දේශ වී සිටිති.

වසර 2018 තරගාවලියේ 10 වැනි ස්ථානය දක්වා පැමිණි කණ්ඩායම් අලුතින් ආරම්භ කළ සුපර් ලීග් තරගාවලියට ඇතුළත් කරගෙන තිබේ.

එක් කණ්ඩායමකට ප්‍රතිවාදීන් සමග තරග 13කට සහභාගි වීමේ අවස්ථාව හිමිවන අතර තරගාවලියේ මුළු තරග ගණන 91කි. එක් කණ්ඩායමකට විදේශීය ක්‍රීඩකයන් තිදෙනකු සහභාගි කරගත හැකිය.  එක් කණ්ඩායමක් සඳහා අවම වශයෙන් වයස 21 පහළ ක්‍රීඩකයන් තිදෙනකු නිර්දේශ කළ යුතු අතර ඉන් එක් අයකු, තරග වදින අවස්ථාවේදී කණ්ඩායමට අනිවාර්යෙන්ම ඇතුළත් වී සිටිය යුතුය.

ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා පැවසුවේ මෙවර ශූරයන්ගේ තරගාවලිය අර්ධ වෘත්තීය මට්ටමේ තරගාවලියක් ලෙස සංවිධානය වීමේදී ඊට සහභාගි වන සියලු ක්‍රීඩා සමාජ ‘සමාගම්’ ලෙස ලියාපදිංචි කිරීමට කටයුතු කර තිබෙන බවයි.  සහභාගි වන කණ්ඩායම් ලියාපදිංචියේදී වයස 21න් පහළ ක්‍රීඩකයන් වැඩි ගණනක් සංචිතයට ඇතුළත් කරන ක්‍රීඩා සමාජ සඳහා විශේෂ දිරිගැන්වීම් දීමනා ලබාදීමට ද පාපන්දු ආයතනය කටයුතු යොදා තිබේ.

වසර 2026 දී  ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේ සත්කාරයෙන් පැවැත්වෙන ලෝක ශූරතා පාපන්දු තරගාවලියේ සුදුසුකම් තරග වටයට යොමු කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ වඩාත් පළපුරුදු යොවුන් ක්‍රීඩකයන්ට අවස්ථාව උදාකර දීම සඳහා එම දිරි ගැන්වීම කෙරෙන බව පාපන්දු සභාපතිවරයා පවසයි.

වසර 13ක්ම තරගාවලියට අනුග්‍රහය දැක්වූ ඩයලොග් ආසියාටා සමාගම මෙවර තරගාවලියේ අනුග්‍රහය තවමත් සනාථ කර නැත.  කෙසේ වුවත් තරගාවලිය ලබන මැයි 13 වැනිදා ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා අවසන් බව පාපන්දු ආයතනය පවසයි.

මෙවරත් ශූරයන්ගේ තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට ප්‍රදානය කෙරෙන ත්‍යාග මුදල රුපියල් මිලියනයකි. තරග 16කින් 10ක් ජය ගනිමින් ‘ඩිෆෙන්ඩර්ස්’ කණ්ඩායම 2018 තරගාවලිය දිනීය.

 

ශූරයන්ගේ ලීග් (2022) තරගාවලියට නිර්දේශිත ක්‍රීඩා සමාජ
කුරුණෑගල ක්‍රිස්ටල් පැලස්, ජාවාලේන්, මාතර සිටි, මොරගස්මුල්ල ක්‍රි.ස., මීගමුව යූත්, කොළඹ නිව් ස්ටාර්, කුරුණෑගල පෙලිකන්ස්, සෝන්ඩර්ස්, මාවනැල්ල සෙරන්ඩිබ්, පොලිසිය, ගමනාගමන, යාපනය ශාන්ත මරියා, අනුරාධපුරය සොලිඩ් සහ බේරුවල සුපර්සන්.

 


අදහස් (0)

ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය 13 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.