Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක්

ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක්

ශනුක අරවින්ද - 2018 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දීර්ඝ පසුබෑම් වැලකට මුහුණ දුන් 2017 වසර අමතක කළ ශ්‍රී ලංකා කණ්ඩායම නව නායකයකු මෙන්ම නව පුහුණුකරුවකු යටතේ නව වසරේදී තමන් මුහුණ දෙන පළමු වැනි අන්තර්ජාතික ක්‍රිකට් තරගයට සූදානම් වෙයි. නව වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව මිර්පූර්හිදී හෙට (17 වැනිදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 11.00 ට ආරම්භ වෙයි. මෙය බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම්ද සහභාගි වන තුන් කොන් තරගාවලියේ දෙවැනි තරගයයි.

අද තරගය පැවැත්වෙන මිර්පූර්හි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 100 වැනි එක්දින තරගයද මෙයයි. ඉතාමත්ම කෙටි කාලයකින් එක්දින තරග 100 කට සත්කාරකත්වය දැරූ ක්‍රීඩාංගණය ලෙසින්ද ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණය ක්‍රිකට් ඉතිහාසයට එක්වෙයි.

අලුත් නායකයකු කීවාට ඇන්ජලෝ මැතිව්ස් අලුත් නායකයකු නොවේ. 2015 ලෝක කුසලාන තරගාවලියේදී අර්ධ අවසන් පූර්ව තරගය දක්වා කණ්ඩායම කැඳවාගෙන ගිය හෙතෙම අවසන් වරට පැවැති (2014) ආසියානු කුසලාන එක්දින තරගාවලියේ කුසලානය කිහිලි ගන්නාගත් නායකයාද වෙයි.

පුහුණුකරුවාද එහෙම පිටින්ම ආගන්තුකයකු නොවේ. වසර කිහිපයක්ම ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරුවා වී සිට ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරුවා වූ චන්දික හතුරුසිංහ මහතාය.

සමස්ත ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන් අද තරගය දෙස දෑස් දල්වා බලා සිටින්නේ හතුරුසිංහ - මැතිව්ස් සංයෝගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දුර්භාග්‍යසම්පන්න සමය දුරුවේද යන්න දෙසයි. නායකත්වයෙන් ඉල්ලා අස්වූ ඇන්ජලෝ මැතිව්ස්ගේ හිත නැවත නායකත්වය බාරගැනීමට හදා දුන්නේද අනෙකකු නොව හතුරුසිංහ මහතාම බැවිනි.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියෙන් පසුව නායකත්වයෙන් ඉල්ලා අස්වූ මැතිව්ස් සිය නායකත්වයේ දෙවැනි ඉනිම අරඹන්නේද සිම්බාබ්වේ පිලටම එරෙහිවය.

සිම්බාබ්බේ පිලේ හිටපු නායකයකු වන බ්‍රෙන්ඩන් ටේලර් මෙන්ම කයිල් ජාවිස්ද නැවතත් කණ්ඩායමට එක්ව සිටින අතර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමෙන් ඉවත් කර සිටි දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් දෙදෙනාත් යළි කණ්ඩායමට කැඳවා සිටිති ඇන්ජලෝ මැතිව්ස් හැරුණු විට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෝ තිදෙනෙක් සිටිති. උපුල් තරංග, චන්දිමාල් සහ තිසර පෙරේරා එම තිදෙනාය.

බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් වසර තුනක් කටයුතු කළ හතුරුසිංහ මහතා ඩකාහි තත්ත්වයන් ගැන මනා වැටහීමකින් සිටී. ඒ සම්බන්ධයෙන් පුහුණුකරුවාට තිබෙන වැටහීම ශ්‍රී ලංකා පිලට මහඟු වාසියක් වනු ඇත.

අසේල ගුණරත්න, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර සහ ෂෙහාන් මධුශංක යන වේග පන්දු යවන්නන් පිරිවරාගෙන සිටියද ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇති තරම් දඟ පන්දු යවන්නන්නෝද සිටිති.

ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ෂෙහාන් මධුශංක, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන් සහ වනිඳු හසරංග

සිම්බාබ්වේ සංචිතය
ග්‍රේඒම් ක්‍රීමර් (නායක), හැමිල්ටන් මසකඞ්සා, සොලමන් මීරේ, ක්‍රෙග් අර්වින්, බ්‍රෙන්ඩන් ටේලර්, සිකන්දර් රාසා, පීටර් මුවර්, මැල්කම් වොලර්, රයාන් මරේ, ටෙන්ඩායි චිසෝරෝ, බ්‍රැන්ඩන් මවුතා, බ්ලෙසින් මුසරබානි, ක්‍රිස්ටෝපර් මොෆූ, තෙන්ඩායි චටාරා සහ කයිල් ජාවිස්


අදහස් (0)

ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.