Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව හෙට මියෙම්වා - රැකෙම්වා තරගයක
ආසියානු කුසලාන

ශ්‍රී ලංකාව හෙට මියෙම්වා - රැකෙම්වා තරගයක

editorial - 2022 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ඩුබායි සිට..)

 

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට ‘බී’ කාණ්ඩයෙන් සුදුසුකම් ලබන දෙවැනි කණ්ඩායම කුමක්දැයි තීරණය වන ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගය හෙට (1 වැනිදා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංක‍ා වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිතය.

සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ තරගයක් බවට පත්වීම නිසා පමණක් නොව, ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ප්‍රකාශයකට බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක මෙහෙදි හසන් ලබාදුන් සැර පිළිතුරක් හේතුවෙන්ද මෙම තරගය කාගෙත් දැඩි අවධානයට ලක්ව තිබේ. ශ්‍රී ලංකා - ඇෆ්ඝනිස්ථාන තර‍ගයට පසුව දසුන් එම ප්‍රකාශය සිදුකළ අතර හසන් ඊට පිළිතුරු ලබාදුන්නේ බංග්ලාදේශ - ඇෆ්ඝනිස්ථාන තරගයට පෙරාතුවය.

මෙතෙක් සහභාගි වූ තරගවලදී ඇෆ්ඝනිස්ථානය හමුවේ පරාජය වී තිබීම හේතුවෙන් තරගාවලියේ ඉදිරියට යෑම සඳහා මෙන්ම තම කණ්ඩායම වෙනුවෙන් තරගයට පෙර සිටම කළ ප්‍රකාශයන් තහවුරු කිරීම සඳහාද කණ්ඩායම් දෙකටම මෙම තරගයේ ජයග්‍රහණය වැදගත් වනු ඇත. ඒ අනුව අද තරගයේදී කණ්ඩායම් දෙක අතර වඩාත් තියුණු තරගයක් දැක බලාගත හැකිවනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

තරගයට පෙර දිනයේදී මාධ්‍ය හමුවට සහභාගි වෙමින් බංග්ලාදේශ කණ්ඩායම් අධ්‍යක්ෂ කලීඩ් මහමුද් මහතාද, මෙහෙදි හසන් ලබාදුන් පිළිතුරට නොදෙවෙනි පිළිතුරක් දෙමින් කියා සිටියේ ලෝක මට්ටමේ පන්දු යවන්නන් කෙසේ වෙතත් බංග්ලාදේශය සතුව ශ්‍රී ලංකාවට වඩා අත්දැකීම් බහුල පන්දු යැවීමේ බළෑණියක් සිටින බවය. සිය පන්දු යවන්නන් අවතක්සේරු කිරීමේ ප්‍රතිඵලය ශ්‍රී ලංකා කණ්ඩායමට ‍අද තරගයේදී අත්විදීමට සිදුවනු ඇතැයිද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ඇෆ්ඝනිස්ථානයට එරෙහිව තරග වැදුණ ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ දුරට වෙනස්කම් දෙකක් සමගින් මෙම තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. එහිදී අංක 4 ස්ථානයේ පන්දුවට පහරදුන් ධනුෂ්ක ගුණතිලකට සහ වේග පන්දු යවන්නන් දෙදෙනා ලෙස කටයුතු කළ ‍දිල්ෂාන් මධුෂංක සහ මතීෂ පතිරණ දෙදෙනාගෙන් අයකුට කණ්ඩායමේ ස්ථාන අහිමිවනු ඇතැයි වාර්තා වේ.

ඔවුන් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ අසිත ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවීමට සූදානමක් ඇති බවද දැනගන්නට ලැබේ. ධනංජය මේ දක්වා විස්සයි-20 තරග 23 කදී ලකුණු 412 ක් රැස්කරමින් කඩුලු 5 ක් බිඳහෙළා ඇති අතර එහිදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 108.42 ක් ලෙසද, කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 34.2 ක් ලෙසද සටහන් වේ. කෙසේ වුවත් අසිත ශ්‍රී ලංකාව වෙනුවෙන් තවමත් විස්සයි-20 වරම් දිනා නොමැත.

තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා දඟ පන්දු යැවීමේ පුහුණුකරු පියල් විජේතුංග මහතා කියා සිටියේ තරගයට සහභාගිවන අවසන් 11 දෙනා කවුරුන්දැයි තවමත් තීරණය කර නොමැති බවත්, අවසන් පුහුණු සැසැසියෙන් පසුව එය තීරණය කිරීමට නියමිත බවත්ය. ඉන්දියා - හොං කොං තරගය පැවැත්වෙන්නේද ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගය පැවැත්වීමට නියමිත තණතීරුවේම බැවින් එම තරගයේදී තණතීරුව හැසිරෙන ආකාරය දෙසද ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අවධානයෙන් යුතුව බලා සිටින බවද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.

“වෙනස්කම් සම්බන්ධයෙන් තවම අපි සාකච්ඡා කරලා නෑ. අවසන් පුහුණු සැසියෙන් පසුව තමයි අවසන් කණ්ඩායම තෝරන්නේ. කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකියි. එහිදී දඟ පන්දු යැවීමේ හැකියාව ඇති තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කණ්ඩායමට එක්වෙන්න තියෙන හැකියාව වැඩියි. තණතීරුවේ දඟ පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය බවක් පේන්න තියෙන හින්දා කණ්ඩායම් දෙක් දඟ පන්දු යවන්නන්ගේ දස්කම් අනුව තරග‍යේ අවසන් ප්‍රතිඵලය තීරණය වේවි කියලා මම හිතනවා.” යැයිද පියල් මහතා එහිදී පැවසීය. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා විස්සයි-20 ජාත්‍යන්තර තරග 12 ක් පැවැත්වී ඇති අතර ඉන් 8 ක් ජයගැනීමට ශ්‍රී ලංකාවද, 4 ක් ජයගැනීමට බංග්ලාදේශයද සමත්ව තිබේ. කෙසේ වුවත් 2018 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති නිදහස් කුසලාන තරගාවලියේදී දෙවරක්ම බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට පවා නොහැකි විය.

ඉන් අනතරුව ඔවුන් එකිනෙකාට එරෙහිව තරග වැදුණේ ඉකුත් වසරේ (2021) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී පමණි. සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේදී කඩුලු 5 කින් බංග්ලාදේශය පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. එතැන් පටන් මේ දක්වා වසරකට ආසන්න කාලයක් මෙම කණ්ඩායම් දෙක විස්සයි-20 තරගයකදී මුහුණට මුහුණ හමුවී නැත.

 

ශ්‍රී  ලංකා සංචිතය

දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, අෂේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, වනිඳු හරසංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න, දිල්ෂාන් මධුෂංක, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන්  

 

බංග්ලාදේශ සංචිතය

සකීබ් අල් හසන් (නායක), එනමුල් හක්, මුෂ්ෆිකුර් රහීම්, අෆී‍ෆ් හොසේන්, මොසැඩ්ඩෙක් හොසේන්, මහමදුල්ලා රියාද්, මෙහෙදි හසන්, මොහොමඩ් ශයිෆුඩීන්, මුස්තෆිසුර් රහමන්, නසුම් අහමඩ්, සබීර් රහමන්, මෙහෙද හසන් මිරාස්, ඉබාදත් හොසේන්, පර්වේස් හොසේන්, ටස්කින් අහමඩ් සහ ‍මොහොමඩ් නයීම්

 


අදහස් (0)

ශ්‍රී ලංකාව හෙට මියෙම්වා - රැකෙම්වා තරගයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.