Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව ලකුණු 67 ක් ඉදිරියෙන්
වෝන් - මුරලි කුසලාන

ශ්‍රී ලංකාව ලකුණු 67 ක් ඉදිරියෙන්

editorial - 2022 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට...)

රටේ පැවැති දේශපාලන අලකංචිය පිළිබඳ වගේ වගක් නැතිව, ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (10 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම, කඩුලු 4 ක් අතැතිව, ලකුණු 67 ක් ඉදිරියට පැමිණ සිටියේය. ධෛර්යයත්, ආක්‍රමණයත් ආරක්‍ෂාවත් මනාව සංකලන කරමින් පිතිහරඹයේ යෙදුණු දිනේෂ් චන්දිමාල් දිනය අවසන් වන විට ලකුණු 118 ක් ලබා නොදැවී සිටියේය.

වෝන් - මුරලි කුසලාන තරගාවලියේ දෙවැනි තරගය වන මෙම තරගයේදී දැනට ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටින නමුත් පළමු ටෙස්ට් තරගය ජයගත් ඕස්ට්‍රේලියානුවෝ 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටිති. එබැවින් තරගාවලිය පරාජය නොවී සිටීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයගත යුතුව තිබේ.

දිනේෂ් චන්දිමාල් අද ලබාගත්තේ ගාල්ල ක්‍රීඩාංගණයේදී ලබාගත් තම සිව්වැනි ටෙස්ට් ශතකයයි. එය චන්දිමාල්ගේ 13 වැනි ටෙස්ට් ශතකය වන අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් හමුවේ ලබාගත් දෙවැනි ටෙස්ට් ශතකයද විය. විනාඩි 380 ක් දිගු වූ චන්දිමාල්ගේ අපරාජිත ඉනිමට හතරේ පහර 9 ක් සහ හයේ පහරක් ඇතුළත් වී තිබිණ.

කමිඳු මෙන්ඩිස් සහ චන්දිමාල් අතර පැවති ලකුණු 133 ක සම්බන්ධතාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වාසිය අත්කර ගත්තේය. සිය මංගල ටෙස්ට් තරගයේදීම මනස්කාන්ත පිතිහරඹයක නිරත වූ කමිඳු මෙන්ඩිස්, හතරේ පහර 7 ක් සහිතව ලකුණු 61 ක් ලබාගත්තේය.

ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ වසර 2017 කණ්ඩායමේ නායකවූ කමිඳු මෙන්ඩිස් වසර 5 ක් විද්‍යාලයේ මහ ක්‍රිකට් තරගය වන ‘ආදරවන්තයන්ගේ සටන’ට සහභගි වී තිබේ. ඔහු ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ නායකයකු මෙන්ම ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේද නායකයා වී සිටියේය.

කිසිවකු අපේක්‍ෂා නොකළ මොහොතක, ගාල්ල ක්‍රීඩාංගණයට ඉහළින් ඇදී ගිය වැහි ඇල්ලක් නිසා තරගය පස්වරු 2.12 ට නතර කෙරිණ. විනාඩි දෙකක් වැනි කෙටි කාලයකදී වැහි ඇල්ල නතර වූ නමුත් තරගය ද එතැනින් නතර කළ විනිසුරුවරු තේ පානය සඳහා යමුයි ක්‍රීඩකයන්ට කීහ.

තේ පානයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට ගෙන ගිය චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනා, කඩුලු 6 ක් අතැතිව තිබියදීම ඕස්ටේ්‍රලියානුවන්ගේ ලකුණු 364 පසුකර ගියහ.

දිවා ආහාරයෙන් පසුව අන්ජලෝ මැතිව්ස් සිය අර්ධ ශතකය ලබාගත් නමුත් ඊළඟ ඕවරයේදී ලකුණු 52 කට දැවී ගියේය. ෆෝවර්ඩ් ෂෝට් ලෙග්හි සිටි මානස් ලැබුෂේන්ගේ විශිෂ්ට උඩපන්දු රැකීමක් නිසා මැතිව්ස් දැවී යන විට ඔහු විනාඩි 163 කදී හතරේ පහර 4 ක් සිය ඉනිමට ඇතුළත් කර තිබිණ.

ඇන්ජලෝ මැතිව්ස් (ලකුණු 36 දී) කඩුල්ල ආවරණය කළ බවටත්, චන්දිමාල්ගේ (ලකුණු 20 දී) පිති-පා ආවරණ උඩපන්දුවක් ලබාගත් බවටත් ඕස්ටේ්‍රලියානුවන් කළ ඉල්ලීම් දෙකම එංගලන්ත ජාතික විනිසුරු මයිකල් ගෆ් මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලදි. එහෙත් ඒ අවස්ථා දෙකේදීම විතීවි සහාය ඉල්ලා සිටි ඕස්ට්‍රේලියානුවෝ පන්දු 20 ක් අතුළත, ඉතිරි වී තිබූ විතීවි අවස්ථා දෙකම අහිමි කරගත්හ.

එහි බරපතළම අවාසියට ඔවුන් මුහණ දුන්නේ චන්දිමාල් ලකුණු 30 ක් ලබා සිටියදී කඩුලු රකින්නාට දුන් උඩපන්න්දුවක් විනිසුරු තීරණ විමසීමට යැවීමට නොහැකි වීමෙනි. ඕස්ටේ්‍රලියානුවන්ගේ ඉල්ලීම විනිසුරු කුමාර් ධර්මසේන මහතා විසින් ප්‍රතික්‍ෂේප කරන ලද නමුත් එය විමසීමට ඕස්ටේ්‍රලියානුවන්ගේ විතීවි අවස්ථා තුනම අහිමි වී තිබිණ.

හෙට තරගයේ සිව්වැනි දිනයයි. පෙරවරු 10.00 ට තරගය ආරම්භ වීමට නියමිතය.

ලකුණු පුවරුව

ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 364
(මානස් ලැබුෂේන් 104, ස්ටීවන් ස්මිත් නොදැවී 145, කසුන් රාජිත 70/2, ප්‍රභාත් ජයසූරිය 118/6)

ශ්‍රී ලංකාව  - පළමු ඉනිම
පැතුම් නිස්සංක - ඇ.ග්‍රීන් ප.ස්ටාක්    6
දිමුත් කරුණාරත්න  - ක.මු.කළා ප.ස්වෙප්සන්    86
කුෂල් මෙන්ඩිස් - ක.මු.කළා ප.ලයන්    85
ඇන්ජලෝ මැතිව්ස්  - ඇ.ලබුෂේන් ප.ස්ටාක්    52
දිනේෂ් චන්දිමාල් - නොදැවී     118
කමිඳු මෙන්ඩිස් - ප.ස්වෙප්සන්    61
නිරෝෂන් දික්වැල්ල - ඇ.කමින්ස් ප.ලයන්    5
රමේෂ් මෙන්ඩිස් - නොදැවී     7
අතිරේක    11
එකතුව - විනාඩි 673 කදී (ඕවර 149) කඩුලු 6 ක් දැවී     431

කඩුලු වැටීම :
1-12(පැතුම් නිස්සංක), 2-164(දිමුත් කරුණාරත්න), 3-186(කුසල් මෙන්ඩිස්), 4-269(ඇන්ජලෝ මැතිව්ස්), 5-402(කමිඳු මෙන්ඩිස්), 6-409(නිරෝෂන් දික්වැල්ල),

පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ :
ප්‍රභාත් ජයසූරිය, මහේෂ් තීක්‍ෂණ සහ කසුන් රාජිත

පන්දු යැවීම :
මිචෙල් ස්ටාක්    : 19-2-47-2
පැට් කමින්ස්    : 24-5-70-0
නේතන් ලයන්    : 56-5-160-2
කැමරන් ග්‍රීන්    : 6-0-20-0
මිචෙල් ස්වෙප්සන්     : 32-2-90-2
ට්‍රැවිස් හෙඩ්    : 8-0-27-0
මානස් ලැබුෂේන්    : 4-0-08-0

(ඡායාරූප - ගයාන් අමරසේකර)


අදහස් (0)

ශ්‍රී ලංකාව ලකුණු 67 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.