Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම කරගැනීමට සමත් වීමත් සමග අන්තර් ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන 2021-2022 ලෝක ටෙස්ට් ශූරතාවලියේ තෙවැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ. කෙසේ වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ප්‍රතිශතයේ යම් අඩුවීමක් දක්නට ලැබෙන අතර එය 55.56% සිට 54.17% ක් දක්වා පහළ වැටී තිබේ.
ඕස්ට්‍රේලියා තරගාවලියට පෙර ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව, එහි තෙවැනි ස්ථානය දක්වා ඉහළ නැඟ ඇත්තේ දෙවැනි ටෙස්ට් තරගයේදී ඉනිමකින් ඕස්ට්‍රේලියාව පරාජය කිරීමට සමත් වීමත් සමගිනි. මේ දක්වා තරග 8 කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව ඉන් තරග 4 ක් ජයගෙන ඇති අතර තරග 3 ක් පරාජයට පත්වී සෙසු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන තිබේ.
තරගාවලිය ආරම්භ වීමට පෙර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ ලැබූ පරාජය හේතුවෙන් එහි දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුව තිබේ. මේ දක්වා තරග 10 කට ක්‍රීඩා කර ඇති ඔවුන් ඉන් 6 ක් ජයගෙන, තරගයක් පරාජයට පත්වී සෙසු තරග 3 ජය පැරදුමෙන් තොරව අවසන් කර ගෙන ඇත. ඔවුන්ගේ ජයග්‍රාහී ප්‍රතිශතය 70% කි.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමත් සමග එතෙක් දෙවැනි ස්ථානයේ පසුවූ දකුණු අප්‍රිකාවට එහි පෙරමුණ අත්කර ගැනීමට අවස්ථාව උදාවී ඇත. තරග 7 කට සහභාගි වී ඉන් තරග 5 ක් ජයගෙන 2 ක් පරාජයට පත්ව ඇති දකුණු අප්‍රිකානුවන්ගේ ජයග්‍රාහී ප්‍රතිශතය සටහන් වන්නේ 71.43% ක් ලෙසිනි.
පාකිස්තානය (52.38%) සහ ඉන්දියාව (52.08%) පිළිවෙලින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ සිවුවැනි සහ පස්වැනි ස්ථානවල රැදී සිටිති. ටෙස්ට් තරග 2 කින් සමන්විත තරගාවලියකට සහභාගි වීම සඳහා පාකිස්තාන කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. දෙරට අතර පළමු ටෙස්ට් තරගය මේ මස 16 වැනිදා සිට 20 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීද, දෙවැන්න 24 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට නියමිතය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.