
(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)
පසුපෙළ පිතිකරුවන්ගේ ධෛර්යසම්පන්න පිතිහරඹය නිසාම ලකුණු 300 කඩඉම පැනගිය ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (19 වැනිදා) සවස ක්‍රීඩාව නිමාවන විට පාකිස්තානු ‘ශහීන්ස්’ කණ්ඩායම හමුවේ ලකුණු 98 ක් ඉදිරියෙන් සිටියහ. පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම හඳුන්වනු ලබන්නේ පාකිස්තානු ‘ශහීන්ස්’ ලෙසිනි.
සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 310 ක් ලබාගත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, ශහීන්ස්ලාගේ කඩුලු 5 ක් ලකුණු 201 ට බිම දමාගත්හ. එහෙත් හුසේන් තලාත් (නොදැවී 18) සහ කඩුලු රකින්නා වන ගාසි ගෝරි (නොදැවී 05) දිනය නිමා වනවිට ලකුණු සංඛ්‍යාව 212 ක් දක්වා රැගන ගියහ.
ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ආරම්භක පිතිකරුවන් වූ නිපුන් ධනංජය සහ පුලිඳු පෙරේරා දෙදෙනාම ලකුණු නොලබා දැවී ගියහ. කමිල් මිෂාරත් ලකුණු නොලබා දැවී ගියෙන් ලකුණු 05 කට කඩුලු 3 ක් බිඳ වැටුණු අතර ලකුණු 34 දී අහන් වික්‍රමසිංහ දැවී යන විට වික්‍රමසිංහ ලකුණු 30 ක හිමිකරුවා වී සිටියේය.
කෙසේ වෙතත් සොනාල් දිනූෂ (නොදැවී 85), දිනුර කළුපහන (30), වනුජ සහන් (63) සහ ඉසිත විජේසුන්දර (51) එක්ව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 300 කඩඉමෙන් එතෙර කළහ.
පළමු සිව්දින තරගයේදී ලකුණු 102 කට කඩුලු 9 ක් දවාගනිමින් ශහීන්ස් කණ්ඩායම කඩුලු 7 ක ජයග්‍රහණයක් කරා කැඳවාගෙන ගිය කුරාම් ශෙෂාඩ් ඊයේත් කඩුලු 6 ක් දවාගත්තේය. ඔහුගේ පන්දු යැවීමේ බලපෑම වූයේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 35 කට බිඳ වැටීමයි.
කෙසේ වෙතත් පාකිස්තානු ශහීන්ස් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවෝ සාර්ථක වූ බැවින් ඔව්හු පහසුවෙන්ම ලකුණු 200 සීමාව පැනගත් අතර පිත්තෙන් දස්කම් දැක්වූ වනුජ සහන් පන්දුවෙන්ද සිය කාර්යය ඉටුකරමින් කඩුලු 2 ක් දවාගත්තේය.
තරගයේ තවත් දින දෙකක් ඉතිරි වී තිබේ.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම - පළමු ඉනිම 310 යි
(අහන් වික්‍රමසිංහ 30, පවන් රත්නායක 35, සොනාල් දිනූෂ නොදැවී 85, දිනුර කළුපහන 30, වනුජ සහන් 63, ඉසිත විජේසුන්දර 51, කුරාම් ශෙෂාඩ් 30/6, අහමඩ් සාෆි අබ්දුල්ලා 100/2)
පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම - කඩුලු 5 ට 212 යි
(අබ්දුල් ෆශී 59, අලී සර්යබ් 32, මොහොමඩ් සුලෙයිමාන් 40, හයිදර් අලී 35, හුසේන් තලාත් 18, වනුජ සහන් 53/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.