Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ‘ඒ’ - නැගීඑන ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත්

ශ්‍රී ලංකා ‘ඒ’ - නැගීඑන ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත්

editorial - 2021 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

ඉදිරියේදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික මට්ටමේ තරගාවලි කිහිපක් වෙනුවෙන් ශ්‍රී ලංකා ‘ඒ’ සහ නැගී එන කණ්ඩායම් සූදානම් කිරීම සඳහා ක්‍රීඩකයන් පිරිසක් දේශීය කොන්ත්‍රාත් ගිවිසුමකට ඇතුළත් කරගැනීමට සූදානම් කර තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර් ක්‍රීඩා සමාජ තරග පැවැත්වීමට නොහැකි වීමත්, පුහුණුවීම් කිරීම සඳහා සංචිතගත කිරීමේ අවශ්‍යතාවත් නිසා මෙම ක්‍රීඩකයන් පිරිසට කොන්ත්‍රාත් පිරිනැමිය යුතු යයි ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක මණ්ඩලය නිර්දේශ කර තිබේ.

“අපිට ඉදිරියේදී අන්තර්ජාතික තරගාවලි කිහිපයක්ම තියෙනවා. ක්‍රීඩකයන්ට එක පාරටම ගිහින් ඒ තරග වලදි ක්‍රීඩා කරන්න බෑ. ඒ නිසා ඒගොල්ලන්ව සංචිත ගත කරලා තරග සඳහා යෝග්‍ය ශාරීරික යෝග්‍යතා මට්ටමට ගන්න ඕනා. පුහුණුවීම් දිගටම කරන්න ඕනා”
“මේ වෙලාවේ, අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය නොපැවැත්වෙන නිසා මේ ක්‍රීඩකයන්ටත් ආදායමක් නෑ. අනෙක දිගින් දිගටම පුහුණුවීම් කරන්න... ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තමන්ගේ කාලය කැප කරන්න, ඔවුන්ටත් කිසියම් ගෙවීමක් කරන්න වෙනවා.. අන්න ඒ නිසා තමයි මේ ක්‍රීඩකයන්ව ගිවිසුමකට ගන්න හදන්නේ” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙක් පැවසීය.

ලබන මාසයේදී පාකිස්තනු ‘ඒ’ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව සිටියද එකම අවස්ථාවේදී කණ්ඩායම් දෙකක් (එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිටින බැවින්) නොගෙන්වන්න’යි සෞඛ්‍ය බලධාරීන්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් ලැබී තිබේ. එබැවින් පාකිස්තානු ‘ඒ’ පිලේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත යමක් කිව නොහැකිය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමක් අයර්ලන්තයේ සංචාරය කිරීමට නියමිතව සිටි අතර කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එය කල්දමන ලදි. දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයටද කොරෝනා වයිරසය හරස් විය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී, “ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ සංචාර එකක් ගැනවත් තවම ස්ථිර යමක් කියන්න බෑ” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසීය.


ශ්‍රී ලංකා ‘ඒ’ සහ නැගී එන කණ්ඩායම් සඳහා වන සංචිත දෙකට ක්‍රීඩකයන් 50 ක් හෝ 60 ක් ඇතුළත් විය හැකි බවත් වාර්තා වේ. එහෙත් එම සංඛ්‍යාව තීරණය වන්නේ ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දෙනු ලබන මූල්‍ය පහසුකම් අනුව බවද දැනගන්ට ඇත.

කොන්ත්‍රාත් ගිවිසුම සඳහා ක්‍රීඩකයන් තෝරාගනු ලබන්නේ ජාතික තේරීම් කමිටුවේ නිර්දේශ මතය. කොන්ත්‍රාත් ගිවිසුම් ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගිනි.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන් සඳහා ඉදිරිපත් කරනු ලබන කොන්ත්‍රාත් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් 24 දෙනා සඳහා ඉදිරිපත් කරන ලද කොන්ත්‍රාත්තුවට වඩා බෙහෙවින් වෙනස් විය හැකි බවත් වාර්තා වේ.

 


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ - නැගීඑන ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.