Last Update  :  2025-07-19 11:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා යෞවනියෝ ‘ඒ’ කාණ්ඩයට
19 න් පහළ ලෝක කුසලාන

ශ්‍රී ලංකා යෞවනියෝ ‘ඒ’ කාණ්ඩයට

editorial - 2022 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පළමු වතාවට පැවැත්වෙන වයස 19 න් පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයට ඇතුළත් වී තිබේ. ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය සහ ඇමෙරිකා එක්සත් ජනපදය, ‘ඒ’ කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වෙති.

විස්සයි-20 තරග ලෙසින් පැවැත්වෙන මෙම ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ ජනවාරි මස 14 වැනිදා සිට 29 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේදී පැවැත්වේ.

වයස 19 න් පහළ බාලක කණ්ඩායම් සඳහා වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූයේ 1989 දීය. පසු කළෙකදී අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දැවැන්තයන් වූ සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, ඉන්සමාම් උල් හක් සහ බ්‍රයන් ලාරා වැන්නෝ 1989 දී යොවුන් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළහ. එහෙත් එදා මෙදා තුර බාළිකාවන් සඳහා 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියක් නොපැවැත්විණ. ලබන වසරේදී පැවැත්වෙන්නේ යෞවනියන්ගේ ප්‍රාරම්භක ලෝක කුසලාන තරගාවලියයි.

මෙම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා 17 න් පහළ බාලිකා කණ්ඩායම් අතර තරගාවලියක් පසුගියදා දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. කොළඹ දකුණ කණ්ඩායම එම තරගාවලියේ ශූරියන් වූ අතර ගාල්ල කණ්ඩායම විසින් අනුශූරතාව හිමිකරගන්නා ලදි.

යෞවනියන්ගේ ප්‍රාරම්භක ලෝක කුසලාන තරගාවලිය සඳහා රටවල් 16 ක කණ්ඩායම් සහභාගි වෙති. එකකට කණ්ඩායම් 4 ක් වනසේ කාණ්ඩ 4 කට බෙදා පැවැත්වෙන මූලික වටයේ තරග වලින් පසුව සෑම කාණ්ඩයකම ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 3 ක් දෙවැනි අදියර සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

දකුණු අප්‍රිකාවේ බෙනෝනි සහ පොචෙස්ට්‍රෝම් නගර වලිදී, දින 15 ක් පුරා පැවැත්වෙන තරගාවලියේ සම්පූර්ණ තරග සංඛ්‍යාව 41 කි. වසර 2020 දී යොවුන් (බාලක) ලෝක කුසලාන තරගාවලිය පැවැත්වූයේත් මෙම නගර දෙකේදීය.

සෑම දිනයකදීම තරග 4 ක් පැවැත්වේ. ජනවාරි 20 වැනිදා සිට තරගාවලියේ දෙවැනි අදියර ආරම්භ වේ. ජනවාරි මස 27 වැනිදා අවසන් පූර්ව තරග පැවැත්වෙන අතර 29 වැනිදා අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතය. ජනවාරි 30 වැනිදා අවසන් මහ තරගය සඳහා අතිරේක දිනයක් ලෙසින් වෙන්කර තිබේ.

 


අදහස් (0)

ශ්‍රී ලංකා යෞවනියෝ ‘ඒ’ කාණ්ඩයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.