Last Update  :  2025-07-19 11:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ප්‍රවීණයන්ට අනුශූරතාව
රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ට අනුශූරතාව

editorial - 2022 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ඉන්දියාවේදී පැවැති ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ සෙනසුරාදා (1 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායම හමුවේ ලකුණු 33 ක පරාජයක් ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායමට පිට පිටම දෙවැනි වරටත් අනු ශූරතාවෙන් සෑහීමකට පත් වීමට සිදුවිය. 

මෙම වසරේදී මෙන්ම ඉකුත් වසරේ (2021) පැවැති ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ තරගාවලියේදීද ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම පරාජය කරමින් ශූරතාවට හිමිකම් කීවේ සචින් තෙන්ඩුල්කාර් නායකත්වය දරන ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායමයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 196 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායමට ඕවර 18.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 162 ක් පමණි. ඉදිරිපෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ ඉෂාන් ජයරත්න හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 51 ක් රැස්කළේය. 

අටවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මහේල උඩවත්ත (26) සමග එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 63 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඉෂාන් සමත් විය. එහෙත් ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය. 

පන්දු 19 කදී වාර්තා වූ උඩවත්තගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය. අසේල ගුණරත්න පන්දු 17 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 19 ක්ද, ජීවන් මෙන්ඩිස් පන්දු 11 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 20 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 195 ක් ලබාගතතේය. ඉන්දීය ප්‍රවීණයන්ගේ ඉනිම ආරම්භ කරමින් අවසන් වන තෙක්ම කඩුල්ලේ රැදී සිටි නාමන් ඕජා, පන්දු 71 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 15 ක් සමගින් වේගවක් ලකුණු 108 ක් රැස්කළේය. 

මුල් කඩුලු 2 ලකුණු 19 ක් තුළ බිඳවැටීම හේතුවෙන් පිතිහරඹ ලැයිස්තුවේ උසස්වීමක් ලබා පන්දුවට පහරදීමට පැමිණි විනේ කුමාර් (36) සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 52 කදී ලකුණු 90 ක් එක් කිරීමටද ඕජා සමත් විය. එහිදී පන්දු 21 කට මුහුණුදුන් කුමාර් හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසීය. 

සචින් තෙන්ඩුල්කාර් වෙත යැවූ පළමු පන්දුවෙන්ම ඔහුගේ කඩුල්ල බිඳ දැමූ නුවන් කුලසේකර, ඉන් අනතුරුව සුරේෂ් රයිනාගේ ඉනිම ලකුණු 4 කටද, යුවරාජ් සිංගේ ඉනිම ලකුණු 19 කටද සීමාකරමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය. ඔහුට අනගි සහායක් දුන් ඉසුරු උදාන ලකුණු 34 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය. 

ශතකයක් ලබාගත් නාමන් ඕජා අවසන් තරගයේ වීරයා බවට පත්වූ අතර තරගාවලිය පුරා ලකුණු 192 ක් රැස්කරමින් කඩුලු 5 ක් බිඳහෙළු ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය. 

ඉන්දීය ප්‍රවීණයන්ගේ පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 195 
(නමන් ඕජා නොදැවී 108, විනේ කුමාර් 36, යුවරාජ් සිං 19, නුවන් කුලසේකර 29/3, ඉසුරු උදාන 34/2) 

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ පිල - ඕවර 18.5 කදී සියලු දෙනා දැවී 162 
(අසේල ගුණරත්න 19, ජීවන් මෙන්ඩිස් 20, ඉෂාන් ජයරත්න 51, මහේල උඩවත්ත 26, විනේ කුමාර් 38/3, අභිමන්‍යු මිතුන් 27/2)

 

 


අදහස් (0)

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ට අනුශූරතාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.