
(ශානුක අරවින්ද)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර හෙට (16 වැනිදා) පැවැත්වෙන අයි.පී.එල්. (2026) ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 12 දෙනකුගේ නම් ඉදිරිපත් කිරීමට නියමිතය. ඔවුන් අතර ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩකයන් 11 දෙනෙක් සහ තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයෙක්ද වෙති.
වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී සිටින ක්‍රීඩකයන් අතර ඉහළම මූලික ලන්සුව වන ඉන්දීය රුපියල් කෝටි 2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 7 ක් පමණ) ලන්සුව යටතේ ලියාපදිංචි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනා වන්නේ වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණය. ඔවුන් තිදෙනා හැරුණු කොට තවත් ක්‍රීඩකයන් 42 දෙනෙක් එම ලන්සුව යටතේ වෙන්දේසියට ලියාපදිංචි වී සිටිති.
මහීෂ් තීක්ෂණ 2023 සහ 2024 යන වසරවලදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමටද, මෙම වසරේදී (2025) රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමටද ක්‍රීඩා කළ අතර වනිඳු හසරංග 2023 වසරේදී බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමටද, 2024 වසරේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමටද, මෙම වසරේදී (2025) රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමටද ක්‍රීඩා කළේය.
මතීෂ පතිරණ පිට පිට පසුගිය වසර තුනේදීම (2023 සිට 2025 දක්වා) ක්‍රීඩා කළේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමටය. කෙසේ වුවත් ඔවුන් තිදෙනාවම තවදුරටත් කණ්ඩායම්වල රඳවා නොගනිමින් ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්වීම සඳහා මුදාහැරීමට එම කණ්ඩායම්වල කලමණාකාරීත්වයන් පියවර ගත්තේය.
ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ වමත්මන් නායක චරිත් අසලංක සහ හිටපු නායකයකු වන කුසල් පෙරේරාද මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී සිටිති. එහිදී ඔවුන් ලියාපදිංචි වී ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 100 ක (ශ්‍රී ලංකා රුපියල් තුන් කෝටි හතලිස් ලක්ෂයක් පමණ) ලන්සුවක් යටතේය.
පැතුම් නිස්සංක, දසුන් ශානක, කුසල් මෙන්ඩිස්, බිනුර ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත් සහ දුනිත් වෙල්ලාලගේ ඉන්දීය රුපියල් ලක්ෂ 75 ලන්සුව යටතේ වෙන්දේසියට ඉදිරිපත්වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන අතර ඔවුන් ලියාපදිංචි වී ඇති මුදල ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි පනස්පන් ලක්ෂයක් පමණ වනු ඇත.
මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇති නමුත් තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ ටේරවීන් මැතිව්ය. එහිදී ඔහුගේ මූලික ලන්සුව වන්නේ ඉන්දීය රුපියල් ලක්ෂ 30 කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක් කෝටි දෙලක්ෂයක් පමණ වේ.
ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලොව පුරා ක්‍රීඩකයන් 574 දෙනෙක් තෝරාගෙන තිබේ. ඒ අතර ඉන්දීය ක්‍රීඩකයන් 366 ක් සහ විදෙස් ක්‍රීඩකයන් 208 ක් සිටිති. එහෙත් ඔවුන් අතරින් ජාත්‍යන්තර වරම් දිනා ඇත්තේ ක්‍රීඩකයන් 244 දෙනෙක් පමණි. සෙසු ක්‍රීඩකයන් 330 දෙනාම ජාත්‍යන්තර වරම් නොලැබූ ක්‍රීඩකයෝ වෙති.
මෙවර වෙන්දේසියේදී කණ්ඩායම්වල පවතින පුරප්පාඩු සම්පූර්ණ කරගැනීම සඳහා ක්‍රීඩකයන් 77 දෙනෙක් තෝරාගැනීමට නියමිත අතර එහිදී විදෙස් ක්‍රීඩකයන් සඳහා ඇත්තේ ස්ථාන 31 ක් පමණි. එබැවින් සියලුම ක්‍රීඩකයන් වෙන්දේසියට ඉදිරිපත් නොකරන අතර පුරප්පාඩු සම්පූර්ණ වන ආකාරය අනුව තෝරා ගැනීමකට යටත්ව ඔවුන් වෙන්දේසියට ඉදිරිපත් කෙරෙණු ඇත.
ඉකත් වසරේදී (2025) පැවැති අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන දුෂ්මන්ත චමීර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේත්, නුවන් තුෂාර රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමේත්, කමිඳු මෙන්ඩිස් සහ ඒෂාන් මාලිංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේත් මෙම වසර (2026) සඳහා තවදුරටත් රඳවාගෙන තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.