Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉදිරියට එති

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉදිරියට එති

editorial - 2021 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කටාර් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු මේසපන්දු ශූරතාවලියේ කණ්ඩායම් තරගවලදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 12 වැනි ස්ථානයටත්, පිරිමි කණ්ඩායම 18 වැනි ස්ථානයටත් පත්වූහ. තරගාවලියේ කේවල සහ යුගල තරග අද (30 වැනිදා) ආරම්භ වීමට නියමිතව තිබිණ. අවසන් වරට පැවැති ආසියානු මේසපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 15 වැනි ස්ථානයටත්, පිරිමි කණ්ඩායම 23 වැනි ස්ථානයටත් පත්වූහ. ඒ අනුව මෙවර තරගාවලියේදී කාන්තා කණ්ඩායම ස්ථාන 3 ක්ද, පිරිමි කණ්ඩායම ස්ථාන 5 ක්ද ඉදිරියට පැමිණ තිබේ.  

කාන්තා කණ්ඩායම් අතර 11 වැනි සහ 12 වැනි ස්ථාන වෙනුවෙන් පැවැත්වෙන තරගයේදී ඉන්දුනීසියාව හමුවේ තරග 3-0 ක් ලෙස පරාජය වීම නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට 12 වැනි ස්ථානය හිමිවිය. එහිදී ඉන්දුනීසියානු ක්‍රීඩිකාවන් හමුවේ ඉෂාරා මධුරංගි වට 3-2 ක් ලෙසත්, බිමන්දි බණ්ඩාර වට 3-1 ක් ලෙසත්, මුතුමාලි ප්‍රියදර්ශනී වට 3-1 ක් ලෙසත් පරාජයට පත්වූහ. 

මූලික වටයේදී තරග 3-0 ක් ලෙස බංග්ලාදේශය පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, කසකස්තානය හමුවේ 3-0 ක් ලෙස පරාජයට පත්වූහ. ඉන් අනතුරුව කාන්තා කණ්ඩායම් අතර 11 වැනි සහ 14 වැනි ස්ථාන අතර ස්ථානයක් දිනාගැනීම සඳහා ජෝර්දානයට එරෙහිව තරග වැදුණ ඔවුහු, තරග 3-0 ක් ලෙස එම තරගය ජයගත්හ. ඒ අනුව 11 වැනි සහ 12 වැනි ස්ථාන වෙනුවෙන් ඉන්දුනීසියාවට එරෙහිව තරග වැදීමට ඔවුහු අවස්ථාව උදා කරගත්හ. 

පිරිමි කණ්ඩායම් අතර 17 වැනි සහ 18 වැනි ස්ථාන වෙනුවෙන් පැවැත්වෙන තරගයේදී ඉන්දුනීසියාව හමුවේ තරග 3-2 ක් ලෙස පරාජය වීම නිසා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට 18 වැනි ස්ථානය හිමිවිය. එහිදී සෙනුර සිල්වා එක් තරගයක් (3-2 ක් ලෙස) ජයගනිමින්, එක් තරගයක් (3-0 ක් ලෙස) පරාජයට පත්වූ අතර මිලින්ද ලක්ෂිත (3-2 ක් ලෙස) එක් තරගයක් ජයගත්තේය. තමා ක්‍රීඩා කළ තරග දෙකේදීම (3-0 ක් සහ 3-1 ක් ලෙස) නායක චමීර ගිණිගේ පරාජයට පත්විය. 

මූලික වටයේදී තරග 3-0 ක් ලෙස බංග්ලාදේශය පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, තායිලන්තය හමුවේ තරග 3-1 ලෙස පරාජයට පත්වූහ. ඉන් අනතුරුව පිරිමි කණ්ඩායම් අතර 13 වැනි සහ 18 වැනි ස්ථාන අතර ස්ථානයක් දිනාගැනීම සඳහා කටාර් රාජ්‍යයට එරෙහිව තරග වැදුණ ඔවුහු, එම තරගය 3-1 ක් ලෙස පරාජය පත්විය. ඒ අනුව ඔවුන්ට 17 වැනි සහ 18 වැනි ස්ථාන වෙනුවෙන් පැවැත්වෙන තරගයේදී ඉන්දුනීසියාවට එරෙහිව තරග වැදීමට සිදුවිය. 

මෙම තරගාවලිය ලබන වසරේදී පැවැත්වෙන ලෝක කණ්ඩායම් මේසපන්දු තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙසද සැලකේ. මෙම තරගාවලියේදී දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් ලෝක කණ්ඩායම් මේසපන්දු තරගාවලියට සුදුසුකම් ලබන කණ්ඩායම් කවුදැයි යන්න ඉදිරියේදී ලෝක මේසපන්දු සම්මේලනය නිවේදනය කරනු ඇත.  

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉදිරියට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.