Last Update  :  2025-08-22 18:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරග 5 දා සිට

ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරග 5 දා සිට

editorial - 2025 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන ‘ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය’ මෙම මස 5 වැනිදා සිට 8 වැනිදා දක්වා ගම්පහ, නයිවල, නිව් සනිරෝ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ලොව පුරා රටවල් රැසකින් යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

මේ වනවිටත් ශ්‍රී ලංකාව ඇතුළු බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරත රටවල් රැසකින් අයැදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබී ඇති බවත්, තරගාවලිය සාර්ථක ලෙස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් තරගාවලියේ සංවිධායකයන් වන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය පවසයි.  

ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය අවුරුදු 19 න් පහළ, 17 න් පහළ, 15 න් පහළ සහ අවුරුදු 13 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වෙන අතර සෑම වයස් කාණ්ඩයක්ම බාලක සහ බාලිකා කේවල, යුගල සහ මිශ්‍ර යුගල යන ඉසව්වලින් සමන්විත වේ. 

තරගාවලියේ මූලික වටයේ තරග මෙම මස 5 වැනිදා ආරම්භ වන අතර අනතුරුව අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව වටයේ තරග පෙළ ගස්වා තිබේ. තරගාවලියේ අවසන් දිනය වන 8 වැනිදා අවසන් මහ තරග සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වේ. 

මෙම ජාත්‍යන්තර තරගාවලියට සහභාගිවීමෙන් ශ්‍රී ලංකාවේ යොවුන් බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග තරග වැදීමට සහ අත්දැකීම් ලබාගැනීමට අවස්ථාවක් ලැබී ඇති බවත්, ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්හි ඉහළ යෑමට අවස්ථාව උදාවන බවත් සංවිධායකයෝ පවසති. 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොෂාන් ගුණවර්ධන, ලේකම් අජිත් විජයසිංහ, තරගාවලි කමිටු සභාපති දිනේෂ් ජයවර්ධන, සංවිධායක කමිටු සභාපති රොහාන් ද සිල්වා, තරගාවලි අධ්‍යක්ෂ පී.පී.එස්.ආර්. ද සිල්වා සහ තරගාවලි කමිටු ලේකම් ජාලිය ජයසේකර මහත්වරුන්ගේ මැදිහත්වීම මත ශ්‍රී ලංකාවට හිමිවූ මෙම තරගාවලියේ තරග තීරක ලෙස බංග්ලාදේශයේ මොහොමඩ් ෂමීම් මහතා කටයුතු කරයි. සංජීව විජේසේකර සහ චතුරංග විශ්වනාත් මහත්වරු නියෝජ්‍ය තරග තීරකවරු ලෙස තරගාවලියට එක්ව සිටිති. 

 


අදහස් (0)

ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරග 5 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.