Last Update  :  2026-05-20 14:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා - කසකස්ථාන තරගය 23 දා

ශ්‍රී ලංකා - කසකස්ථාන තරගය 23 දා

editorial - 2026 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

නේපාලයේ කත්මන්ඩු නුවරදී සිකුරාදා (22)  ආරම්භ වන මධ්‍යම ආසියානු වොලිබෝල් (කාන්තා) තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායම අද (20) දිවයිනෙන් පිටත්වයාමට නියමිතය.එහිදී සෙනසුරාදා (23) ශ්‍රී ලංකාව මූලික ලීග් වටයේ තරග වැදීම ආරම්භ කරමින් කසකස්ථානය සමග සිය පළමු තරගයට සහභාගි වෙයි.

මෙම තරගාවලිය මැයි 29 වැනිදා දක්වා රටවල් අටක සහභාගිත්වයෙන් කත්මන්ඩු නුවරදී පැවැත්වෙයි.එහිදී මූලික වටයේදී බී කාන්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රතිවාදීනියන් බවට පත්ව සිටින්නේ ඉරානය හා බංග්ලාදේශයයි.

සත්කාරක නේපාලය සමග කිරිගිස්ථානය,ඉන්දියාව හා මාලදිවයින මූලික වටයේදී ඒ කාන්ඩයෙන් තරග වදියි.

තරගාවලියේ ශූරියන් හා අනුශූරියන් වන කණ්ඩායම් දෙක එළඹෙන (2027) ආසියානු ශූරතා වොලිබෝල් (කාන්තා)  තරගාවලියට නිර්දේෂ ලබයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස පන්දු සකසන්නියක් වන හෂානී චමෝදා රණවීර කටයුතු කරයි. ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින සෙසු ක්‍රීඩිකාවන් අතර උස් ප්‍රහාරිකාවක් වන තෙමී මේරි වසන්තප්‍රිය ජාතික වොලිබෝල් (පිරිමි) පුහුණුකරු කාලික වසන්තප්‍රිය මහතාගේ දියණියයි.  ඇය ජාතික කණ්ඩායමට නිර්දේෂ වන්නේ පළමු වතාවටයි. වඩාත් උසැති ක්‍රීඩිකාවක් වන ඇයට මේ වන විට ජාතික දැල්පන්දු පුහුණු සංචිතය සදහාද ආරාධනා ලැබී ඇතැයි වාර්තාවේ.

ඒ අතර වසන්තප්‍රිය මහතාගේ පුත් ලසිදු නෙත්මල් වසන්තප්‍රිය ශ්‍රී ලංකා ජාතික (පිරිමි) කණ්ඩායමේ ක්‍රීඩා කරයි.කාලික වසන්තප්‍රිය මහතා දීර්ඝතම කාලයක් ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් (පිරිමි) කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර තිබේ.   

තරග සංචාරයේදී ශ්‍රී ලංකා වොලිබෝල් (කාන්තා) කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යාංශය ගුවන් ප්‍රවේශපත්‍ර වියදම් ලබාදීමෙන් අනුග්‍රාහය දක්වයි.

කෙසේවූවත් මැයි 12 වැනිදා උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවරදී ආරම්භ වූ මධ්‍යම ආසියානු වොලිබෝල් (වයස 18 න් පහළ) තරග මාලාවට නිර්දේශ ලැබූ ශ්‍රී ලංකා බාලක හා බාලිකා කණ්ඩායම් දෙක සදහා වියදම් ලබාදීම ප්‍රතික්ෂේප කළ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායමේ මෙම තරග සංචාරයට වියදම් අනුමත කර තිබේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පස් දෙනෙකුගෙන් සමන්විත පුහුණු කාර්‍ය මණ්ඩලයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජී.ඒ.ඊ. විජේපාල මහතා කටයුතු කරයි.

 

 ශ්‍රී ලංකාව මූලික වටයේදී ප්‍රතිවාදීන් මුණ ගැසෙන අයුරු

* මැයි 23 : - කසකස්ථානයට එරෙහිව

* මැයි 24 : - ඉරානයට එරෙහිව

* මැයි  25 : - බංග්ලාදේශයට එරෙහිව

* මැයි 26 - 27 : - පිළිමළුන් පිටු දැකීමේ හා  ශ්‍රේණිගත තරග වට

* මැයි 28 : -  අවසන් පූර්ව වටයේ තරග

* මැයි 29 : - තෙවැනි ස්ථානය තේරීමේ තරගය හා අවසන් මහ තරගය

 

ඡායාරූපය : - මධ්‍යම ආසියානු වොලිබෝල් (කාන්තා) තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සමග...ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ජේය්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, උප සභාපති මහින්ද බන්ඩාර යන මහත්වරුද මෙහි වෙති.


අදහස් (0)

ශ්‍රී ලංකා - කසකස්ථාන තරගය 23 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.