
කඩුලු 7 ක් අතේ තිබෙන විට, විස්සයි-20 තරගයක අවසන් ඕවර දෙකේදී ලකුණු 24 ක් ලබාගැනීම කරන්න පුළුවන් දෙයකි. අවශ්‍ය වන්නේ හයේ පහර දෙකක් පමණි. එතැන් සිට සමීකරණයේ ඉතිරිය වන්නේ පන්දු 10 කින් ලකුණු 12 කි. මේ බව හොඳින්ම දැන සිටි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අවසන් ඕවරය යැවීමේ අභියෝගය තමාම බාර ගත්තාය.
බංග්ලාදේශ කාන්තාවන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් අවසන් ඕවරයේදී අවශ්‍ය වූයේ ලකුණු 14 කි. තමන්ගේ තීරණය සම්පූර්ණයෙන්ම සාධාරණිකරණය කළ චමරි අතපත්තු අවසන් ඕවරය ලකුණු 10 කට සීමා කරමින් බංග්ලාදේශයේ ෂිලාත් නුවරදී අද (2 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදීත් ලකුණු 3 ක ජයක් කරා තම කණ්ඩායම කැඳවාගෙන ගියාය.
අතපත්තුගේ විශිෂ්ට තීරණය හේතුවෙන් විස්සයි-20 තරගාවලියේදීත් 3-0 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකිවිය. දෙපිල අතර පැවැති එක්දින තරගාවලියේදීත් ශ්‍රී ලංකා කාන්තාවෝ තරග 2-1 ක් ලෙසින් තරගාවලිය ජයගත්හ.
පන්දු 27 කින් ලකුණු 41 ක් ලබාගත් ශ්‍රී ලංකා නායිකාව, අද තරගයේදී ලකුණු 15 කට කඩුලු 2 ක් ද දවාගනිමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූවාය. විස්සයි-20 තරගාවලියේදී ලකුණු 115 ක් ලබාගනිමින් කඩුලු 4 ක් ද සිය කඩුලු මල්ලට දමාගත් අතපත්තු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ද සම්මානයට පාත්‍ර වූවාය.
අද තරගය ආරම්භ වීමටත් පෙරම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 2-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටියහ.
වර්ෂාවෙන් බාධා වූ තරගය ඕවර 9 කට සීමා වෙද්දී කාසියේ වාසිය අහිමි වීම හේතුවෙන් ශ්‍රී ලංකා පිලට පළමුවෙන් පන්දුවට පහර දීමට සිදුවිය. ප්‍රහාරාත්මක ඕවර සංඛ්‍යාව 3 කට සීමා විය.
පන්දු 20 කින් ලකුණු 41 ක් පුවරුවට එක්කළ චමරි අතපත්තු සහ ඉමේෂා දුලානි (පන්දු 10 කින් ලකුණු 19) අතර සම්බන්ධතාව බිඳී ගියේ පිට දඟ පන්දු යවන්නී සුල්තානා ඛාතුන්ගේ පන්දුවකිනි. අනෙක් අන්තයේ කඩුලු බිඳ වැටෙමින් තිබුණ නමුත් අතපත්තු දිගින් දිගටම බංග්ලාදේශ පන්දු යවන්නියන්ට රිදෙන්න පහර දුන්නාය.
ඉනිමේ අවසන් පන්දුවේදී දුවද්දී දැවී ගියද, හතරේ පහර 5 කින් සහ හයේ පහරකින් බංග්ලාදේශ පන්දු යවන්නියන්ට සංග්‍රහ කළ අතපත්තු සිය ලකුණු 41 වෙනුවෙන් මුහුණ දුන්නේ පන්දු 27 කට පමණි.
හර්ෂිතා සමරවික්‍රම, හංසිමා කරුණාරත්න සහ නිලක්ෂිකා සිල්වා යන තිදෙනාම පන්දු 9 ක් ඇතුළතදී දැවී ගියහ. එහෙත් අතපත්තු සමගින් එක්ව ඉදිරියට ගිය කවීෂා දිල්හාරිගේ ප්‍රවේගකාරී ලකුණු 15 නිසා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 87 ක් පුවරුවට දැමූහ.
ඉලක්කය කරා යාමට සූදානම් වූ බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට පළමුවෙන්ම හරස් වූයේද අතපත්තුමය. සිය මුල්ම ඕවරයේදී ඩිලාරා අක්තාර්ව දවාගත් අතපත්තු, සිය සහාය පන්දු යවන්නියන් මනාව හසුරුවමින් 3 වැනි ඕවරයත් 7 වැනි ඕවරයත් අතර පන්දු 24 දී සිය ප්‍රතිවාදීන් ලකුණු 38 කට සීමා කරගත්තාය. අවසන් ඕවරයේදී බංග්ලාදේශයට අවශ්‍ය වූ ලකුණු 14 ලබාගැනීමට අතපත්තුගෙන් අවසර නොලැබිණ.
ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 9 කදී කඩලු 6 ට 87 යි
(චමරි අතපත්තු 41, ඉමේෂා දුලානි 19, කවීෂා දිල්හාරි 15, සුල්තානා ඛාතුන් 08/3)
බංග්ලාදේශ කාන්තාවෝ - ඕවර 9 කදී කඩුලු 6 ට 84 යි
(ජුවයිරියා ෆර්ඩෝස් 15, ශෝභනා මෝස්තාරි 21, නිගාර් සුල්තානා 13, සුගන්ධිකා කුමාරි 22/2, චමරි අතපත්තු 15/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.