වෝනර්ට පළමු ටෙස්ට් තරගය මඟහැරෙයි
ඉන්දියාවට එරෙහිව මේ මස 17 වැනිදා ඇඩිලේඩ්හිදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ඉවත් කර තිබේ. ඊට හේතු වී ඇත්තේ දෙරට අතර පැවැති එක්දින තරගාවලියේදී ආබාධයකට ලක්වූ වෝනර්, තවමත් ඉන් පූර්ණ සුවය ලබා නොතිබීමයි.
ක්‍රීඩා කිරීමට අවශ්‍ය ශාරීරක යෝග්‍යතාවයට ලඟා වීම සඳහා වෝනර්ට තවත් දින 10 ක පමණ කාලයක් ගත වනු ඇතැයිද, එබැවින් ඔහු මේ මස 26 වැනිදා මෙල්බර්න්හිදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදී යළිත් කණ්ඩයමට එක්වීමට නියමිතව ඇතැයිද කණ්ඩායමේ කලමනාකාරීත්වය පවසයි.
ඉන්දියාවට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයේ පන්දු රැකීමේ නිරත වෙමින් සිටියදී වෝනර්ගේ පාදයේ මාංශ පේශියක් ඉරී ගියේය. ඒ හේතුවෙන් ඔහුට තෙවැනි එක්දින තරගයට මෙන්ම විස්සයි20 තරගාවලියට සහභාගි වීමටද නොහැකි විය. ඕස්ටේලියානු කණ්ඩායම මේ වනවිට ඇඩිලේඩ් වෙත ගොස් ඇති නමුත් වැඩිදුර ප්‍රතිකාර සඳහා වෝනර් තවදුරටත් සිඩ්නි නුවර රැඳී සිටියි.
“ආබාධයට ලක්වීමෙන් පසු ඉතාමත් කෙටි කාලයක් තුළ විශාල ප්‍රගතියක් ලබාගෙන ඇති බව මට දැනෙනවා. තවතත් පූර්ණ යෝග්‍යතාවය ලබා ගැනීම සඳහා අඛණ්ඩව ප්‍රතිකාර ලබාගැනීමට සිඩ්නිහි රැදී සිටීම වඩාත් සුදුසුයි කියා මම හිතනවා.” යැයි වෝනර් පැවසීය.
“තිබුණට වඩා දැන් ආබාධ තත්වය හුඟක් හොඳ අතට හැරිලා තියෙනවා කියලා මට තේරෙනවා. ඒත් ටෙස්ට් තරගයක් සඳහා මම 100% ක්ම සූදානම් බවට මගේ මනසත් සහ මගේ කණ්ඩායමේ සාමාජිකයනුත් තෘප්තිමත් කිරීමට මට අවශ්‍යයි.” යැයිද ඔහු කීය.
“කඩුලු අතර දිවීම වගේම පිටියේ කඩිසර වීමත් ඊට ඇතුළත්. මේ වන විට මට දැනෙන්නේ තවමත් මගේ උපරිම යෝග්‍යතාවයෙන් ක්‍රීඩා කිරීමට නොහැකි වී ඇති බවයි. ඒත් ඉදිරි දින 10 තුළ ලොකු වෙනසක් සිදුවේවි කියා මම විශ්වාස කරනවා” වෝනර් වැඩිදුරටත් පැවසීය.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 84 කට ක්‍රීඩා කර ඇති වෝනර් එහිදී ද්විත්ව ශතක 2 ක්, ශතක 24 ක් සහ අර්ධ ශතක 30 ක් සමග ලකුණු 7244 ක් රැස්කරගෙන සිටියි. ටෙස්ට් තරගයකදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 48.95 ක අගයක් ගනී.
-036