Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විශිෂ්ඨ කණ්ඩායම් 4 ක කරටකර ගැටුම

විශිෂ්ඨ කණ්ඩායම් 4 ක කරටකර ගැටුම

editorial - 2021 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද සාජා සිට..)

මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේදී එංගලන්තයට එරෙහිව නවසීලන්තයද, පාකිස්තානයට එරෙහිව ඕස්ට්‍රේලියාවද තරග බිමට පි‍විසෙනු ඇත. ඉන් පළමු අවසන් පූර්ව තරගය 10 වැනිදා අබුඩාබිහිදීද, දෙවැන්න 11 වැනිදා ඩුබායිහිදීද පැවැත්වීමට නියමිතය. ‍‍

දෙවැනි කාණ්ඩය යටතේ තරග වැදුණ පාකිස්තානය එහිදී ඔවුන් සහභාගි වූ සියලු තරග ජයගනිමින් අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. එම කාණ්ඩයේදී පාකිස්තානය හමුවේ පමණක් පරාජයට පත්වූ නවසීලන්තය, ප්‍රබල ඉන්දියාවද පරාජය කරමින් අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේය.

පළමු කාණ්ඩය යටතේ තරග වැදුණ එංගලන්තය අවසන් පූර්ව වටයට පිවිසියේ තරග 4 ක් ජයගෙන එක් තරගයක් පමණක් පරාජයට පත් වෙමිනි. එම කාණ්ඩයේම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාවද එක් තරගයක් පමණක් පරාජයට පත්වූ නමුත් දල ලකුණු වේගය අනුව දෙවැනි ස්ථානයට පත්වෙමින් ඔවුහු අවසන් පූර්ව වටයට පිවිසියහ.

පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව මේ දක්වා විස්සයි-20 තරග 23 කදී එකිනෙකාට එරෙහිව තරගවැදී ඇති අතර ඉන් තරග 13 කදී පාකිස්තානයද, තරග 9 කදී ඕස්ට්‍රේලියාවද ජය ලබා ඇත. දෙරට අතර පැවැති සෙසු තරගය ජය පැරදුමකින් තොරව අවසන් වී තිබේ.

එංගලන්තය සහ නවසීලන්තය අතර විස්සයි-20 තරග 21 ක් පැවැත්වී ඇති අතර ඉන් තරග 13 කදී නවසීලන්තය පරාජය කිරීමට එංගලන්තයද, තරග 7 කදී එංගලන්තය පරාජය කිරීමට නවසීලන්තයද සමත්වී ඇත. එක් තරගයක් පමණක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් තරග 5 කදී අර්ධ ශතක 4 ක් සමග ලකුණු 264 ක් රැස්කරමින් සුපිරි 12 දෙනාගේ වටය අවසානයේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙ‍රමුණේ පසුවිය. එහි දෙවැනි ස්ථානයේ පසුවන එංගලන්ත ආරම්භක පිතිකරු ජොස් බට්ලර් තරග 5 කදී ලකුණු 240 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ ශතකයක් සහ අර්ධ ශතකයක් සමගිනි.  

පාකිස්ථාන ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් අර්ධ ශතක 2 ක් සමග ලකුණු 214 ක් ලබා එම ලැයිස්තුවේ පස්වැනි ස්ථානයේද, ඕස්ටේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් තරග 5 කදී අර්ධ ශතක 2 ක් සමග ලකුණු 187 ක් එහි 7 වැනි ස්ථානයේ රැදී සිටිති. නවසීලන්ත ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් තරග 5 කදී අර්ධ ශතකයක් සමග ලකුණු 176 ක් ලබා සිටින අතර ඔහු පසුවන්නේ වැඩිම ලකුණු ලාභීන් අතර 9 වැනි ස්ථානයේය.

ඕස්ට්‍රේලියාවේ ඇඩම් සම්පා සහ නවසීලන්තයේ ට්‍රේන්ට් ‍බෝල්ට් තරග 5 කදී කඩුලු 11 බැගින් දවාගෙන ඇති නමුත් කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය අනුව සම්පා තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානයේද, බොල්ට් එහි තෙවැනි ස්ථානයේදී රැදී සිටිති. කඩුලු 16 ක් දවාගෙන ඇති ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටියි.

එහි 8 වැනි සහ 9 වැනි ස්ථාන පිළිවෙලින් එංගලන්තයේ ආදිල් රෂීඩ්ට සහ ඕස්ට්‍රේලියාවේ ජොෂ් හෙසල්වුඩ්ට හිමිව ඇති අතර ඔවුන් දෙදෙනා තරග 5 කදී කඩුලු 8 බැගින් බිඳහෙළා ඇත. පාකිස්තානයේ හාරිස් රවුෆ්ද තරග 5 කදී කඩුලු 8 ක් ‍දවාගෙන ඇති නමුත් කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය අනුව ඔහුට හිමිව ඇත්තේ එම ලැස්තුවේ 13 වැනි ස්ථානයයි.


අදහස් (0)

විශිෂ්ඨ කණ්ඩායම් 4 ක කරටකර ගැටුම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.