Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වැඩිම ලකුණු ලෝක වාර්තාව ශී‍්‍ර ලංකාවට

වැඩිම ලකුණු ලෝක වාර්තාව ශී‍්‍ර ලංකාවට

editorial - 2021 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 කි‍්‍රකට් ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව වසර 9 ක්ද, තරගයක් ජයගත් වැඩිම ලකුණු පරතරයේ වාර්තාව වසර 12 ක්ද තමන් සන්තකයේ රඳවාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 2007 වසරේ දකුණු අපි‍්‍රකාවේදී පැවැති පළමු ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයකදී කෙන්යාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම එම වාර්තා ද්විත්වය පිහිටුවීය.
 

  වසර 15 ක ලෝක ක්‍රිකට් ඇබ්බැහිය
   ශී‍්‍ර ලංකාවේ විස්සයි-20 තිඹිරිගෙය

සැප්තැම්බර් මස 14 වැනිදා ජොහැන්ස්බර්ග්හි පැවැති එම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ  ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 260 ක් රැුස්කළ අතර පිළිතුරු ඉනිමේදී  ඕවර 19.3 ක් අවසානයේ කෙන්යාව ලකුණු 88 කට සීමා කිරීමටද සමත් වූහ. ඒ අනුව එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 172 ක වාර්තාගත ජයක් හිමිවිය.

කාසියේ වාසිය දිනාගත් කෙන්යානු කණ්ඩායමේ නායක ස්ටීව් ටිකලෝගේ ආරාධනයෙන් පන්දුවට පහරදීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් සනත් ජයසූරිය, අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වෙමින් පන්දු 44 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 88 ක් රැස්කළේය. කුමාර් සංගක්කාර (30) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 75 ක්ද, නායක මහේල ජයවර්ධන (65) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 87 ක්ද එක් කළ ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව වේගයෙන් ඉහළ දැමුවේය.

පන්දු 18 කදී වාර්තා වූ සංගක්කාරගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 27 කට මුහුණදුන් මහේල හයේ පහර 2 කින් සහ හතරේ පහර 9 කින් සිය වේගවත් ඉනිම සැරසුවේය. ඉනිමේ අවසන්  ඕවර කිහිපයේදී ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ජෙහාන් මුබාරක් පන්දු 13 කදී නොදැවී ලකුණු 46 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

ඕවර 14.1 ක් අවසානයේ ලකුණු 181 කට කඩුලූ 2 ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව, පන්දු 23 ක් ඇතුළත ලකුණු 215 කට කඩුලූ 6 ක් බවට පත්වූයේ චාමර සිල්වා (5) සහ තිලකරත්න ඩිල්ෂාන් (3) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගිය බැවිනි.

කෙසේ වුවත් 18  ඕවරය නිමා වන විට පන්දු 2 කදී ලකුණු 2 ක් පමණක් ලබාසිටි මුබාරක්, අවසන්  ඕවර දෙකේදී සිය ප‍්‍රහාරය ආරම්භ කළේය. හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමග 19 වැනි  ඕවරයේදී ලකුණු 29 ක්ද, හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග 20 වැනි  ඕවරයේදී ලකුණු 15 ක්ද රැස්කළ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තාගත ලකුණු සංඛ්‍යාවක් කරා ඔසවා තැබීය.

මෙම තරගයේදී කෙන්යානු ආරම්භක පන්දු යවන්නා වූ තෝමස් ඔඩෝයෝට හැරුණුකොට අන් සියලූම පන්දු යවන්නන්ට ශ්‍රී ලංකා පිතිකරුවෝ එළව එළවා පහරදුන්හ. එහිදී ජයසූරියගේ ලකුණු රැුස්කිරීමේ ප‍්‍රවේගය (පන්දු 100 කින් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව හෙවත් ප‍්‍රහාරාත්මක වේගය) 200 ක අගයක් ගත් අතර මහේල සහ මුබාරක් පිළිවෙලින් 240.74 ක සහ 353.84 ක ලකුණු රැස්කිරීමේ ප‍්‍රවේගයක් රඳවාගත්හ.

ලකුණු 261 ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි කෙන්යානු පිතිකරුවන් 6 දෙනෙකුටම ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් අපසු කී‍්‍රඩාගාරය බලා යෑමට සිදුවිය. තිලකරත්න ඩිල්ෂාන්, ලසිත් මාලිංග සහ චමින්ද වාස් කඩුලූ 2 බැගින් බිඳහෙළමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග‍්‍රහණය ඉක්මන් කළහ.

කෙන්යානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඇලෙක්ස් ඔබන්ඩා පන්දු 25 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක් රැුස්කළේය. ඔහු හැරුණුකොට ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට සමත් වූයේ ඩේවිඩ් ඔබුයා (18) සහ ටැන්මායි මිෂ්රා (16) පමණි.  ඕවර 3 ක් යවමින් ලකුණු 9 කට කඩුල්ලක් දවාගත් ජයසූරිය, පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දැක්වූ දස්කම් හේතුවෙන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

ශ්‍රී ලංකාවට එරෙහිව 2016 වසරේ සැප්තැම්බර් මස 6 වැනිදා පල්ලෙකැලේ පැවැති තරගයේදී ලකුණු 263 ක් රැස්කිරීමට  ඕස්ටේ‍්‍රලියාව සමත් වීමත් සමග ඉනිමකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ශ්‍රී ලංකාවෙන් ගිළිහී ගියේය. විස්සයි20 තරගයක් ජයගත් වැඩිම ලකුණු පරතරයේ වාර්තාව ශ්‍රී ලංකාවට අහිමි වූයේ 2019 වසරේදීය. තුර්කියට එරෙහිව පැවැති තරගයක් ලකුණු 173 කින් ජයගනිමින් රුමේනියාව එම වාර්තාව බිඳ දැමුවේය.

 

ශ්‍රී ලංකාව -  ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 260
(සනත් ජයසූරිය 88, කුමාර් සංගක්කාර 30, මහේල ජයවර්ධන 65, ජෙහාන් මුබරක් නොදැවී 46, ජිමී කමන්ඬේ 48/3)

කෙන්යාව -  ඕවර 19.3 කදී සියලූ දෙනා දැවී 88
(ඬේවිඞ් ඔබුයා 18, ටැන්මායි මිෂ්රා 16, ඇලෙක්ස් ඔබන්ඩා 21, තිලකරත්න ඩිල්ෂාන් 04/2, ලසිත් මාලිංග 13/2, චමින්ද වාස් 15/2)

(සැකසුම - ශානුක අරවින්ද)

 


අදහස් (0)

වැඩිම ලකුණු ලෝක වාර්තාව ශී‍්‍ර ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.