Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වාසනාව ස්විට්සර්ලන්තය අත නොහරී

වාසනාව ස්විට්සර්ලන්තය අත නොහරී

ශනුක අරවින්ද - 2018 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අරුම පුදුම දඬුවම් පහරකින් පසුව කොස්ටාරිකා කණ්ඩායම සමග පැවැති තරගය ගෝල 2-2 ක් ලෙසින් සමවූවත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේදී ස්වීඩනය සමග තරග වැදීමට ස්විට්සර්ලන්තය අවස්ථාව උදාකරගත්තේය.

ව්ලැඩිමීර් පෙට්කෝවික්ගේ පුහුණුකාරිත්වයෙන් යුතු ස්විට්සර්ලන්තයට ලෝක කුසලාන තරගමාලා 4 කදී තුන්වැනි වතාවටත් අවසන් 16 දෙනා අතරට එක්වීමට අවශ්‍යවී තිබුණේ එක් ප්‍රසාද ලකුණක් පමණි.  නමුත් අනිත් තරගයේදී බ්‍රසීලය ගෝල 2-0 කින් සර්බියාව පරාජය කිරීම නිසා මේ තරගයෙන් කොස්ටා රිකා කණ්ඩායම ජයගත්තත් අවසන් 16 දෙනා අතරට යාමේ අවස්ථාව ස්විට්සර්ලන්තයට තිබිණි.

එවන් තත්ත්වයක් තිබියදීත් ස්විට්සර්ලන්ත දැළ රකින්නාගේ අත්වැරදීමකින් තමන්ගේම දැළ තුළට පන්දුව ඇදී ගියද අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව ස්විට්සර්ලන්තයට අහිමි නොකිරීමට වාසනාවේ දෙව්දුව තීරණය කර තිබුණාය.

කොස්ටාරිකාවට එරෙහිව පැවති මූලික වටයේ අවසන් තරගය ජයග්‍රහණයෙන් නිමා කරගැනීමට ස්විට්සර්ලන්තයට හොඳටෝම ඉඩකඩ තිබිණ. එහෙත් අවසන් මොහොතේදී තරගය ගෝල 2-2 ක්  ලෙස සම තත්ත්වයෙන් නිමාවට පත්වූයේ ස්විට්සර්ලන්තයේ ගෝල රකින යැන් සොමර් ඔහුගේම හිසින් ගසා පන්දුව දැල තුළට දමාගැනීම නිසාය.

එය සිදුවූයේ අවසන් මොහොතේ කොස්ටාරිකා පිලට ලැබුණු දඬුවම් පහරක් හේතුවෙනි. බ්‍රයන් රූස් ගැසූ දඬුවම් පහර ගෝල් කණුවේ වැදී ආපසු පිටියට ඇදී එන සැනින්ම සොමර්ගේ හිසෙහි වැදී නැවත දැල තුළට පතිත වූයේ අදහාගත නොහැකි ආකාරයෙනි.

කොස්ටාරිකා පිල ඉතා තියුණු ආකාරයෙන් තරගයට ප්‍රවිෂ්ඨ වුවත් පළමු භාගය නිමාවෙද්දී ස්විට්සර්ලන්තය ගෝල 1-0 කින් පෙරමුණ ගත්තේ 31 වැනි මිනිත්තුවේදී බ්ලේරිම් ඩිසෙමෙයිලි වාර්තා කළ ගෝලයෙනි. එහෙත් දෙවැනි භාගයේ 56 වැනි මිනිත්තුවේදී කෙන්ඞ්ල් වොට්සන් හිසින් ගැසූ පහරින් ගෝලයක් වාර්තා කළ කොස්ටාරිකා පිල තරගය 1-1 ක් ලෙස සමකර ගත්තේය.

තරගය 1-1 කින් සමවීමෙන් පසුව දෙපිලම එක හා සමාන ජවයකින් තරග වැදුණත් ස්විට්සර්ලන්තයට නම් ඒ හැටි පීඩනයක් තිබුණේම නැත.  තරගය නිමාවීමට මිනිත්තු දෙකක් ඉතිරිව තිබියදී ජොසිප් ඩි්‍රමික් අනගි ගෝලයක් වාර්තා කරමින් ස්විට්සර්ලන්තයට ගෝල 2-1 කින් පෙරමුණ ගෙනදීමත් සමග තරගයේ උණුසුම වියැකී ගියේය.

එහෙත් ක්‍රීඩාලෝලීන්ගේ උද්යෝගය නැවත පණ ගැහී ආවේ රූස් ගැසූ විස්මිත දඬුවම් පහරත් සමග සිදුවූ හාස්‍යමුසු ගෝලයෙනි.

 

- 077


අදහස් (0)

වාසනාව ස්විට්සර්ලන්තය අත නොහරී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.