Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වර්ස්ටපන් ලකුණු සටහනේ පෙරමුණ ගනී
ස්පාඤ්ඤ ගෝන් ප්‍රී තරගය

වර්ස්ටපන් ලකුණු සටහනේ පෙරමුණ ගනී

editorial - 2022 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්පාඤ්ඤයේ බාසිලෝනාහි කැටලුන්‍යා ධාවන පථයේදී ඉකුත් ඉරිදා (22 වැනිදා) පැවැති ස්පාඤ්ඤ ගෝන් ප්‍රී තරගය ජයගැනීමට රෙඩ්බුල් රේසිං කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපන් සමත් විය. මෙම වසර (2022) තුළ පැවැත්වෙන ෆෝමියුලා-I තරග මාලාවේ හයවැනි ගෝන් ප්‍රී තරගය මෙය වූ අතර එහිදී වර්ස්ටපන් ලැබූ සිවුවැනි ජයග්‍රහණයද මෙය විය.

වට 66 කින් සමන්විත වූ සමස්ත තරගය නිමා කිරීම සඳහා වර්ස්ටපන්ට පැය 1 යි, විනාඩි 37 යි, තත්පර 20.475 ක කාලයක් ගතවිය. මෙම ජයග්‍රහණයත් සමග ලකුණු 25 ක් ලබාගත් වර්ස්ටපන්, මුලු ලකුණු 110 ක් ලබා ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණීමටද සමත් විය.

සුදුසුකම් ලැබීමේ අදියරේ එක් වටයක් නිමා කිරීම සඳහා විනාඩි 1 යි, තත්පර 19.073 ක අවම කාලයක් වාර්තා කළ වර්ස්ටපන්, දෙවැනි ස්ථානයේ සිට මෙම තරගය ආරම්භ කළේය. තරගය තුළදී එක් වටයක් නිමා කිරීමට සඳහා ඔහු වැය කළ අවම කාලය විනාඩි 1 යි, තත්පර 25.456 කි.

වර්ස්ටපන්ට වඩා තත්ත්පර 13.072 ක් පසුපසින් තරගය නිමා කළ ඔහුගේ කණ්ඩායම් සඟයා වන සර්ගියෝ පෙරේස් තරගයේ දෙවැනි ස්ථානයට පත් විය. මර්සිඩීස් කණ්ඩායමේ ජෝජ් රසල් මෙ තරගයේ තෙවැනි ස්ථානය හිමිකර ගත්තේ වර්ස්ටපන්ට වඩා තත්ත්පර 32.927 ක් පසුපසින් තරගය නිමා කරමිනි.

තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීම වෙනුවෙන් පෙරේස්ට ලකුණු 19 ක් හිමිවූ අතර තෙවැනි ස්ථානය වෙනුවෙන් රසල්ට ලකුණු 15 ක් හිමිවිය. මුලු ලකුණු 104 ක් ලබා සිටින ෆෙරාරි කණ්ඩායමේ චාල්ස් ලැක්ලර්ක් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේද, මුලු ලකුණු 85 ක් ලබා සිටින පෙරේස් එහි තෙවැනි ස්ථානයේද පසුවේ.

වර්ස්ටපන් සහ පෙරේස් නියෝජනය කරන රෙඩ්බුල් රේසිං කණ්ඩායම තරග 6 ක් අවසානයේ ලකුණු 195 ක් ලබා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගෙන සිටියි.

ලැක්ලර්ක් සහ කාර්ලෝස් සේන්ස් නියෝජනය කරන ෆෙරාරි කණ්ඩායම ලකුණු 169 ක් ලබා එහි දෙවැනි ස්ථානයේද, ලුවිස් හැමිල්ටන් සහ ජොජ් රසල් නියෝජනය කරන මර්සිඩීස් කණ්ඩායම ලකුණු 120 ක් සමග ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේද රැදී සිටිති.

මෙම තරගයෙන් අනතුරුව මොනාකෝ ගෝන් ප්‍රී තරගය මෙම මස 29 වැනිදා පැවැත්වේ. අසර්බයිජාන් (12 වැනිදා) සහ කැනඩා (19 වැනිදා) ගෝන් ප්‍රී තරග ජූනි මාසයේදීද, බි්‍රතාන්‍ය (3 වැනිදා), ඔස්ටි්‍රයා (10 වැනිදා), ප්‍රංශ (24 වැනිදා) සහ හංගේරියා (31 වැනිදා) ගෝන් ප්‍රී තරග ජූලි මාසයේදීද පැවැත්වීමට නියමිතය.


තරග ප්‍රතිඵල
1 මැක්ස් වර්ස්ටපන් (රෙඩ්බුල් රේසිං) - පැය 1:37:20.475
2 සර්ජියෝ පෙරේස් (රෙඩ්බුල් රේසිං) - ජයග්‍රාහකයාට තත්ත්පර 13.072 ක් පසුපසින්
3 ජොජ් රසල් (මර්සිඩීස්) - ජයග්‍රාහකයාට තත්ත්පර 32.927 ක් පසුපසින්
4 කාර්ලෝස් සේන්ස් (ෆෙරාරි) - ජයග්‍රාහකයාට තත්ත්පර 45.208 ක් පසුපසින්
5 ලුවිස් හැමිල්ටන් (මර්සිඩීස්) - ජයග්‍රාහකයාට තත්ත්පර 54.534 ක් පසුපසින්
6 වෙල්ටරි බොටාස් (ඇල්ෆා රෝමියෝ ෆෙරාරි) - ජයග්‍රාහකයාට තත්ත්පර 59.976 ක් පසුපසින්
7 එස්ටබන් ඕකන් (ඇල්ෆයින් රෙනෝල්ට්) - ජයග්‍රාහකයාට තත්ත්පර 75.397 ක් පසුපසින්
8 ලැන්ඩෝ නොරිස් (මැක්ලරන් මර්සිඩීස්) - ජයග්‍රාහකයාට තත්ත්පර 83.235 ක් පසුපසින්
9 ෆර්නෑන්ඩෝ ඇලන්සෝ (ඇල්ෆයින් රෙනෝල්ට්) - ජයග්‍රාහකයාට වටයක් පසුපසින්
10 යුකී සුනෝඩා (ඇල්ෆාටවුරි ආර්.බී.පී.ටී.) - ජයග්‍රාහකයාට වටයක් පසුපසින්

-036

 


අදහස් (0)

වර්ස්ටපන් ලකුණු සටහනේ පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.