Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වර්ස්ටපන් 12 වැනි ශූරතාව හඹා යයි

වර්ස්ටපන් 12 වැනි ශූරතාව හඹා යයි

editorial - 2022 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසරේ (2022) ෆෝමියුලා-I තරග මාලාවේ තරග 16 ක් අවසන් වන විට ලකුණු 335 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින රෙඩ්බුල් රේසිං කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපන්, වසරේ 12 වැනි ගෝන් ප්‍රී ශූරතාව දිනාගැනීමේ අරමුණින් යුතුව ඔක්තෝබර් මස 2 වැනිදා සිංගප්පූරු ගෝන් ප්‍රී ධාවන පථයට පිවිසෙනු ඇත.

මේ දක්වා ශූරතා 11 ක්, අනු ශූරතාවක් සහ එක් තෙවැනි ස්ථානයක් හිමිකරගෙන සිටින වර්ස්ටපන්, මෙම වසර තුළ පැවැති තරග 16 න් 3 කදී හැරෙන්නට සෙසු තරග 13 දීම ජයග්‍රාහී පීඨිකාව මතට ගොඩවීමටද සමත් විය.

තරග මාලාවේ 17 වැනි ගෝන් ප්‍රී තරගය වන සිංගප්පූරු ගෝන් ප්‍රී තරගය කිලෝ මීටර් 5.063 ක දුරකින් යුක්ත මරීනා බේ ස්ටී්‍රට් ධාවන පථයේදී පැවැත්වෙන අතර එය වට 61 කින් සමන්විත වේ. තරගයට සහභාගි වන ක්‍රීඩකයන් සඳහා අද (30 වැනිදා) පුහුණු අදියර දෙකක් පැවැත්වෙන අතර තෙවැනි පුහුණු අදියර සහ සුදුසුකම් ලබාගැනීමේ අදියර හෙට (1 වැනිදා) පැවැත්වීමට නියමිතය.

ශූරතා 3 ක් සහ අනු ශූරතා 3 ක් දිනා සිටින ෆෙරාරි කණ්ඩායමේ චාල්ස් ලැක්ලර්ක් ලකුණු 219 ක් සමගින් මෙවර ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන අතර රෙඩ්බුල් රේසිං කණ්ඩායමේ සර්ගියෝ පෙරේස් එහි තෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ ශූරතාවක් සහ අනු ශූරතා 6 ක් සමග ලකුණු 210 ක් ලබාගනිමිනි.  

වර්ස්ට්පන් සහ පෙරේස් නියෝජනය කරන රෙඩ්බුල් රේසිං කණ්ඩායම මේ වන විට ලකුණු 545 ක් ලබා කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණේ පසුවේ. ලැක්ලර්ක් සහ කාර්ලෝස් සේන්ස් නියෝජනය කරන ෆෙරාරි කණ්ඩායම ලකුණු 406 ක් සමග ශ්‍රේණිගතකිරීම්හි දෙවැනි ස්ථානයේද, ලුවිස් හැමිල්ටන් සහ ජෝජ් රසල් නියෝජනය කරන මර්සිඩීස් කණ්ඩායම ලකුණු 371 ක් සමග එහි තෙවැනි ස්ථානයේද රැදීසිටිති.

මෙම තරගයෙන් අනතුරුව ජපන් ගෝන් ප්‍රී තරගය ඔක්තෝබර් මස 9 වැන්දා සුසුකා ධාවන පථයේදී පැවැත්වේ. ඇමරිකානු (23 වැනිදා) සහ මෙක්සිකෝ (30 වැනිදා) ගෝන් ප්‍රී තරගද ඔක්තෝබර් මාසයේදීම පැවැත්වෙන අතර බ්‍රසීල (13 වැනිදා) සහ අබුඩාබි (20 වැනිදා) ගෝන් ප්‍රී තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මාසයේදීය.

-036


අදහස් (0)

වර්ස්ටපන් 12 වැනි ශූරතාව හඹා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.