Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වනිඳු පහළට වැටෙයි
ක්‍රීඩක ශ්‍රේණිගතකිරීම්

වනිඳු පහළට වැටෙයි

editorial - 2022 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි-20 පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට (ලකුණු 760) සිදුව තිබේ. නොවැම්බර් මස 3 වැනිදා පළමු වරට විස්සයි-20 පන්දු යවන්නන් අතර පෙරමුණට පැමිණි වනිඳු, මාස තුනහමාරක කාලයක් එම ස්ථානය රැකගත්තේය. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 8 කදී කඩුලු 16 ක් දවාගනිමින් දැක්වූ දක්ෂතා හේතුවෙන් වනිඳු ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණට පැමිණියේය. ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාවට එරෙහිව සිඞ්නිහිදී පැවැති විස්සයි-20 තරග 2 දී කඩුලු 5 ක් දවාගැනීමට වනිඳු සමත් වුවද, එය ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණ රැකගැනීමට තරම් ප්‍රමාණවත් වී නොමැත. 

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති පළමු තරගයේදී නායක ඒරන් ෆින්ච්, ග්ලේන් මැක්ස්වෙල් සහ ස්ටීවන් ස්මිත් දවාගත් වනිඳු, දෙවැනි තරගයේදී ඒරන් ෆින්ච් සහ ජොෂ් ඉන්ග්ලිෂ් දවාගත්තේය. කෙසේ වුවත් කොවිඞ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඔහුට තෙවැනි තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර තරගාවලියේ සෙසු තරග දෙකද බොහෝ දුරට අහිමිවනු ඇත. 

එම තරගාවලියේ මුල් තරග 3 දී කඩුලු 8 ක් බිඳහෙළු ඕස්ටේ්‍රලියානු වේග පන්දුයවන ක්‍රීඩක ජොෂ් හෙසල්වුඞ් (ලකුණු 783) එක් පියවරක් ඉදිරියට එමින් ශ්‍රේණිගතකිරීම්හි දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත. පළමු තරගයේදී ලකුණු 12 කට කඩුලු 4 ක් දවාගත් හෙසල්වුඞ්, දෙවැනි තරගයේදී ලකුණු 22 කට කඩුලු 3 ක් දවාගනිමින් සුපිරි ඕවරය ලකුණු 5 කට සීමා කළේය. 

වනිඳුගේ පසුබැසීමත් සමග එතෙක් ශ්‍රේණිගතකිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවූ දකුණු අප්‍රිකානු පා දඟ පන්දු යවන ක්‍රීඩක තබ්‍රේෂ් ශම්ෂිට (ලකුණු 784) එහි පෙරමුණ හිමව ඇත. මේ වන විට ඔහු දෙවැනි ස්ථානයේ රැදී සිටින හෙසල්වුඞ්ට වඩා එක් ලකුණක් ඉදිරියෙන් සිටියි. ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා තෙවැනි විස්සයි-20 තරගයෙන් සහ ඉන්දියා - බටහිරි ඉන්දීය කොදෙව් තෙවැනි එක්දින තරගයෙන් පසුව නවතම ශ්‍රේණිගත කිරීම් නිකුත් කර තිබේ. 

ඕස්ට්‍රේලියානු සංචාරයේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා පිල දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ස්ථාන 16 ක් ඉදිරියට එමින් විස්සයි-20 පන්දු යවන්නන් අතර 29 වැනි ස්ථානයට පත්ව ඇත. එම තරගාවලියේ මෙතෙක් පැවැති තරග 3 දී අර්ධ ශතකයක්ද සමග ලකුණු 125 ක් ලබා සිටින ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ස්ථාන 42 ක් ඉදිරියට එමින් විස්සයි-20 පිතිකරුවන් අතර 21 වැනි ස්ථානය හිමිකර ගෙන සිටියි. 

මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර සිවුවැනි ස්ථානයේ පසුවූ වනිඳුට, මේ වන විට එහි පස්වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුව ඇත. තරගාවලියට පෙර එහි 6 වැනි ස්ථානයේ පසුවු ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල්, තරග 3 ක් අවසානයේ ස්ථාන 2 ක් ඉදිරියට එමින් ශ්‍රේණිගතකිරීම්හි 4 වැනි ස්ථානය දක්වා පැමිණ ඇත. කෙසේ වුවත් එහිදී වනිඳු සහ මැක්ස්වෙල් අතර පවතින පරතරය ලකුණු 6 ක් පමණි. 

 


අදහස් (0)

වනිඳු පහළට වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.