Last Update  :  2024-05-14 18:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලක්‍ෂ 20ක සල්ලි මල්ල දඹුල්ලට
සුපිර් ලීග් එක්දින තරගාවලිය

ලක්‍ෂ 20ක සල්ලි මල්ල දඹුල්ලට

editorial - 2023 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දඟ පන්දු යවන්නන් තිදෙනා වූ සොනාල් දිනූෂ, ලක්ෂාන් සඳකැන් සහ දුෂාන් හේමන්ත එක්ව ජාතික සුපර් ලීග් එක්දින තරගාවලියේ ශූරයන්ට හිමි ලක්‍ෂ 20 ක සල්ලි මල්ල දඹුල්ල කණ්ඩායමට දිනා දුන්හ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී 6 වැනිදා (බ්‍රහස්පතින්දා) රාත්‍රියේ පැවැති තරගයේදී යාපනය කණ්ඩායම ලකුණු 160 කට සීමා කළ මෙම දඟ පන්දු යවන්නෝ තම පිතිකරුවන්ට පහසු ඉලක්කයක් ගෙන දුන්හ. ලකුණු 161 ක ඉලක්කය කරා යාමේදී අගනා පිතිහරඹයක නිරත වූ පවන් රත්නායක සහ සොනාල් දිනූෂ එක්ව කඩුලු 5 ක ජයක් කරා දඹුල්ල කණ්ඩායම කැඳවාගෙන ගියහ.

කාසියේ වාසිය දිනාගත් යාපනය කණ්ඩායම පළමුවෙන් පිතිහරඹය තෝරා ගත් අතර ඉතාමත් හොඳ ලකුණු වේගයක් (4.571) පවත්වාගනිමින් ඉදිරියට ගියේය. ඕවර 21 ක් නිමාවේදී යාපනය ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 2 කට 96 ක් ලෙසිනි.

පවන් රත්නායකගේ උඩපන්දුවක් හේතුවෙන් ජනිත් ලියනගේ දැවී යාමත් සමගින් සියල්ල සැණෙකින් කණපිට පෙරළිණ. එතැන් සිට ලකුණු 64 ක් ඇතුළත පිතිකරුවෝ 8 දෙනෙක් දැවී ගිය අතර යාපනය ඉනිම ලකුණු 160 දී අවසන් විය. සොනාල් දිනූෂ, ලක්ෂාන් සඳකැන් සහ දුෂාන් හේමන්ත එක්ව අවසානයට දැවී ගිය පිතිකරුවන් 8 දෙනාටම වගකියූහ.

දඹුල්ල පිතිකරුවන්ට තිබුණේ පහසු ඉලක්කයක් වූවත්, බිනුර ප්‍රනාන්දු විසින් පිට පිටම ඕවර දෙකකදී මිනෝද් භානුක සහ කමිඳු මෙන්ඩිස් දවාගනිමින් සටනට බැස්සේය. එහෙත් සෙසු පන්දු යවන්නන්ගෙන් ඔහු අපේක්‍ෂා කළ සහයෝගය නොලැබිණ.

පවන් රත්නායකට (62) එක්වූ අශාන් ප්‍රියන්ජන් (33) තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73 ක් එක්කරමින් දඹුල්ල අවදානමෙන් මුදාගත්තේය. හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 62 ක් ලබාගත් පවන් රත්නායක පන්දු 80 කට පසුව දැවී ගිය නමුත්, තුන් ඉරියව් ක්‍රීඩකයකු වශයෙන් තමන් සතු නිපුණතාව මැනවින් ප්‍රදර්ශනය කළ සොනාල් දිනූෂ නොදැවී ලකුණු 45 ක් ලබාගනිමින් තම කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියේය.

ඇති තරම් කාලය තිබූ හෙයින්, මනා ඉවසීමෙන් යුතුව සොනාල් ලබාගත් ලකුණු 45 න් ලකුණු 23 ක් තනි ලකුණු සහ ද්විත්ව ලකුණු වූ අතර ඊට ඇතුළත් වූයේ හතරේ පහර 4 කි.

අනුශූරයන් වූ යාපනයට හිමිවූ මුදල් ත්‍යාගය රුපියල් මිලියනයකි. අවසන් මහ තරගයේ දක්‍ෂතම ක්‍රීඩකයා වූ සොනාල් දිනූෂට රුපියල් 75,000 ක ත්‍යාගයක් හිමිවිය.


යාපනය - ඕවර 47.3 කදී සියලු දෙනා දැවී 160 යි
(නවෝද් පරණවිතාන 51, නිශාන් මධුෂ්ක 12, කසුන් අබේරත්න 17, ජනිත් ලියනගේ 16, දිලුම් සුධීර 23, ජෙෆ්රි වැන්ඩසේ 26, සොනාල් දිනූෂ 33/3, ලක්ෂාන් සඳකැන් 22/3, දුෂාන් හේමන්ත 22/3)

දඹුල්ල - ඕවර 39 කදී කඩුලු 5 ක් දැවී 163 යි
(පවන් රත්නායක 62, අශාන් ප්‍රියන්ජන් 33, සොනාල් දිනූෂ නොදැවී 45, දුෂාන් හේමන්ත 15, බිනුර ප්‍රනාන්දු 17/2)


අදහස් (0)

ලක්‍ෂ 20ක සල්ලි මල්ල දඹුල්ලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.